ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ  උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් දුන් බව අගමැති කාර්යාලය පවසයි.

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දී තිබේ.

මේ අනුව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර දැනට වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් නිදහස් කිරීම සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේදී පියවර ගෙන තිබේ. මේ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සඳදා හිමිවීමෙන් අනතුරුව මහ බැංකුව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් වෙයි.

විවිධ කාරණා හේතුවෙන් බහාලුම් 800කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස රඳවා ගෙන තිබී ඇත. මෙම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා ප්‍රමාණවත් ඩොලර් නිකුත් නොකිරීමට මෙරට බැංකු අපොසෙත්වීමත් එම හේතු අතර විය. පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණූ ජීවන වියදම් පිළිබඳ කමිටුවේදී මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ආනයන අපනයන පාලක ජනරාල්වරයා වෙත මෙන්ම රේගු අධ්‍යක්ෂජනරාල්වරයා වෙතද උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව මෙම බහාලුම් අතරින් 400ක් නිදහස් කරගැනීම සඳහා මෙම ඩොලර් මිලියන 50ක මුදල ප්‍රමාණවත් වන බව මහ බැංකුව පවසයි. එසේම ඉදිරියේදී අවශ්‍යතාව අනුව සහාය දක්වන බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසා ඇත.

Visits: 88