LOLC සමූහයේ කොන්රාඩ් ඩයස් SDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුව (SDB) බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කොන්රාඩ් ඩයස් මහතා පත් කර ඇතැයි බැංකුව පවසයි. 2021 ඔක්තෝබර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව කොන්රාඩ් ඩයස් මහතා සණස සංවර්ධන බැංකුවෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරන බව සඳහන් වෙයි. ඒ සඳහා වන අනුමැතිය සඳහා දැනටමත් මහ බැංකුව වෙත ලිපියක් මගින් දන්වා ඇති බවත්, ඉදිරියේදී ඊට අනුමැතිය හිමිවනු ඇති බවත් SDB බැංකුව පවසයි.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට කොන්රාඩ් ඩයස් මහතා සතුව සණස සංවර්ධන බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් එම බැංකුව දැනුම් දී සිටියි.

කොන්රාඩ් ඩයස් මහතා අද වනවිට LOLC සමූහයේ C-මට්ටමේ විධායකවරයෙකු ලෙස කටයුතු කරයි. එහිදී ඒ මහතා LOLC සමූහයේ සහ බ්‍රවුන්ස් සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරියා වෙයි. එසේම ඒ මහතා LOLC ටෙක්නොලොජීස් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. මීට අමතරව ඒ මහතා පසුගිය වසරේදී LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද පත් කෙරිණි.

LOLC සමාගමේ ජංගම ගෙවුම් ඇප් වැඩසටහන වන ipay හි සම නිර්මාතෘවරයෙකුද වන කොන්රාඩ් ඩයස් මහතා LOLC කාම්බෝජ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර තිබේ.

කොන්රාඩ් ඩයස් මහතා සතුව තොරතුරු තාක්ෂණය, පරිගණක ඉංජිනේරුවිද්‍යාව, ව්‍යාපෘති කළමනාකරණය, ක්‍රමෝපායික සහ ආයෝජන සැලසුම්කරණය, මූල්‍ය කළමනාකරණය, ඒකක භාර සහ අරමුදල් කළමනාකරණය ඇතුළු වෙළෙඳ, බැංකු සහ මූල්‍ය, වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර රැසකම අත්දැකීම් සහිත බවද පවසයි.

එක්සත් රාජධානියේ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ (එම්බීඒ) උපාධියක් හිමි කොන්රාඩ් ඩයස් මහතා, එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ, එක්සත් ජනපදයේ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සහ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සාමාජිකයෙකුද වෙයි.

පසුගිය අගෝස්තු මාසයේදී LOLC සමූහය මගින් සණස සංවර්ධන බැංකුවෙහි කොටස් හිමිකාරීත්වයෙන් 15%ක් අත්පත් කරගැනීමත් සමගින්ම මෙලෙස එම සමූහය නියෝජනය කරමින් කොන්රාඩ් ඩයස් මහතා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කිරීම සිදුව තිබේ.

සණස සංවර්ධන බැංකුව මගින් සිදු කළ සිය දෙවැනි මහජන කොටස් නිකුතුව අවස්ථාවේදී LOLC සමූහය මෙම අත්පත් කරගැනීම කෙරිණි. LOLC සමූහයට අයත් Iconic Property සමාගම හරහා මෙම අත්පත් කරගැනීම සිදු වූ බවත්, එහිදී කොටසක් රුපියල් 51.50ක් බැගින් කොටස් 24,104,800ක් මිලදී ගැනීමක් සිදු වුණු බවත් LOLC සමූහය අනාවරණය කර තිබුණි. එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.2ක් විය.

Visits: 529