EXPO සහ LOLC සමූහයේ වටිනාකම් ඉහළ යාමෙන් ASPI නව වාර්තාවක් තබයි

අද (සැප්තැම්බර් 28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඊයේ දිනයේදී මෙන් ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබමින් එතෙක් මෙතෙක් ඉහළම අගයකට පත්විය. එහිදී විශේෂයෙන්ම EXPO සහ LOLC සමූහයේ සමාගම්හි කොටස් මිල ගණන් ඉහළ යාම දායක වී තිබේ. කෙසේ වෙතත් ලාභ ඉපැයීමේ අවස්ථාවන් හේතුවෙන් මෙම වටිනාකම් ඉහළ යාම් පසු අවස්ථාවේදී යම් තරමකින් අඩුවීමක් ද පෙන්නුම් කර තිබේ.

මේ අතර ගලදාරි හොටෙල්ස් ලංකා පීඑල්සී සමාගමෙහි සිදු වුණු දැවැන්ත විදේශිය කොටස් අලෙවිය හේතුවෙන් අද දිනයේදී ලෙෂර් අංශයේ සමාගම් තුළද කැපී පෙනෙන ක්‍රියාකාරීත්වයක් දැකගත හැකි වු බවද තැරැව්කාර සමාගම් පවසයි. ඒ අතරම බැංකු අංශයේ සමාගම් සතු ආයෝජක ආකර්ෂණයද යම් තරමකින් ඉහළ ගිය බවද එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,267.89ත් ඒකක 9,453.34ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,339.28ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 27) දිනයට සාපේක්ෂව ඒකක 69.63ක් එනම් +0.75%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හේලීස් පීඑල්සී සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්හි සිදු වූ සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 4.9%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 102ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 94ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+25.22), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+23.19), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+18.61), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.88), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.22), එල්ඕඑල්සි ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-10.68), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-3.32), කොමර්ෂල් බැංකුව COMB (-2.27), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.06), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-2.03යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,453.35ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 27) ‍ට සාපේක්ෂව ඒකක 37.23ක එනම් +1.09%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.66ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 27) වාර්තා කළ රුපියල් බිලියන 6.77ට සාපේක්ෂව 1.7% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.16ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 40.57%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 21.65ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 317.7ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 296.05කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.31ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.86 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 135.79ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,203ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 33%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,184ක සහ රුපියල් මිලියන 1,181ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 325