එන්නත් විදගත් දෙස් විදෙස් ගුවන් මගීන්ට මෙරටදී පී.සී.ආර්. පරීක්ෂාවන් නොකිරීමේ තීරණයක්

ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන්තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව විසින් අදාළ තීරණය ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාශයේදී අද (28) සවස පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඒ සඳහා සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශයන්හි ඉහළ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ සංවිධාන වල නියෝජිතයන් පිරිසක්ද එක්ව සිට ඇත.

පූර්ණ එන්නත්කරණය නොවූ විදේශිකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුළක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබා දෙන බවත් එහිදීද පී.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී පවසා තිබේ.

එහෙත් පූර්ණ එන්නත්කරණය නොවූ ශ්‍රී ලාංකිකයන්ට ගුවන්තොටුපළේදී හෝ රැඳී සිටින හෝටලයේදී පී.සී.ආර්. පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට හැකියාව පවතින බවත්, එහිදී 12 වන දිනයේදී නැවත වරක් කරන පී.සී.ආර්. පරීක්ෂණයකින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දී ඇත.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා හෝටලයකදී දින 14 ක් නිරෝධායනය වී ඔවුනට සමාජගත වීමේ හැකියාවක් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛණයක් නිකුත් කිරීමට නියමිත අතර එය ඔක්තෝම්බර් 01 දා සිට බලාත්මක කෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විට මෙරටට පැමිණෙන ගුවන් මගීන් පැය 72 ට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම යොමු විය යුතු අතර, එම පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් ඔවුනට ගුවන්ගත වීමට අවස්ථාව හිමි වේ. පූර්ණ එන්නත්කරණයට ලක් වූ ගුවන් මගීන් පමණක් ඉන් සති දෙකකට පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන් නැවත මෙරටදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් සමාජගත කරනු ලැබේ.

ව්‍යසන තත්ත්වයන් තුළ ජනතාවගේ රැකවරණය අන් සියල්ලටම වඩා වැදගත් බවත්, කුමන බාධාවකටත් වඩා පුරවැසියාගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ඉන් එහා තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පවසා ඇත.

මේ නිසා යම් යම් නීති රීති හා කොන්දේසි ගණනාවක් මත සිට කටයුතු කෙරුණු බවද එහෙත් වත්මන් තත්ත්වයන් නැවත සමීක්ෂණයට ලක්කෙරෙමින් සෞඛ්‍ය ප්‍රධානීන් විසින් ගනු ලැබූ තීන්දු එක්කර තීරණ ගණනාවක් ගැණුනු බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ..

එසේම රට යම් යම් සීමාවන් තුළ සිට ක්‍රමානුකූලව විවෘත කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවද හෙතෙම පෙන්වා දී තිබේ. මෙරටට විදේශ විනිමය ලබා දෙන ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 4.5 ක් ලබා දෙන සංචාරක ක්ෂේත්‍රයට නීතියේ රාමුව හා සෞඛ්‍ය අංශ වල උපදෙස් මත පුරවැසි ආරක්ෂාව තහවුරු කරමින් ලබාදිය හැකි අවස්ථාවන් නිසි ලෙසින් ලබා දෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

කොවිඩ් ව්‍යසනය මත ගනු ලබන තීන්දු තීරණ සංචාරක ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට ආර්ථිකයටද වැදගත් වන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මෙහිදී සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය කුමාරි වීරසේකර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ, ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආචාර්ය ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ.

Visits: 175