රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ පත් කෙරේ

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය පත් කර ඇතැයි රජය පවසයි.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරිම සිදුව තිබේ.

රුසියාවේ තානාපති සේවයට නික්ම යාමට පෙර එතුමිය ඊයේ (28) දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සේවය සැළ කිරීමක් සිදු කර ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා – රුසියානු ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දෙරට අතර ද්වි පාර්ශවීය සබඳතා තව තවත් වර්ධනය කිරීම උදෙසා කැපවන්නැයි ජනිතා ඒ ලියනගේ මහත්මියට සුබ පැතුම් එක්කරමින් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය මෙම ධුරයට පත්වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළාය.

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ජනිතා ඒ ලියනගේ මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු එක්ව සිට ඇත.

Visits: 108