“LPL 2021 දී Galle Gladiators කණ්ඩායමේ ජයග්‍රහණය නියතයි” – සම හිමිකරු නදීම් ඕමාර්

දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස දෙවන තරගාවලිය තුළදී යළිත්වරක් වඩාත් ශක්තිමත්ව තරග වැදීමට සූදානම් වන Galle gladiators කණ්ඩායමේ ජයග්‍රහණය නියත බව එහි සම හිමිකරුවකු වන නදීම් ඕමාර් මහතා පවසයි.

පසුගිය වසරේදී පැවැත්වුණු ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක තරඟාවලියේදී Galle gladiators කණ්ඩායම අවසන් මහා තරඟය තෙක් පැමිණ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.

එසේම අද වනවිට ඒ මහතාට අමතරව අසීස් අබ්දුල් රහීම් කසාමලී සහ මජීඩ් බෂීර් යන මහත්වරුන් සම හිමිකරුවන් ලෙස Galle gladiators කණ්ඩායම වෙත ශක්තිය ලබා දීමට ඉදිරිපත්ව සිටින බවත් එම කණ්ඩායම සඳහන් කරයි..

ඕමාර් මහතා පාකිස්ථානු සුපර් ලීග් (PSL) හි ක්වෙටා ග්ලැඩියේටර්ස්හි ද හිමිකාරිත්වය දරයි. එසේම සුප්‍රකට ව්‍යාපාර රැසක විධායක නිලධාරියෙකු ලෙසද කටයුතු කරන ඔහු හිටපු ක්‍රීඩකයෙක්ද වෙයි. ඔහු ක්‍රීඩාව සදහා දරණ ලද දායකත්වයන් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධයක් ලබා ඇත.

ඔහු 2020 ඔක්තෝම්බර් මාසයේ සිට පාකිස්ථානු ස්ක්‍රබල් සංගමයේ සභාපති ලෙස ද 2018 මැයි සිට කරච්චි නගර ක්‍රිකට් සංගමයේ සභාපති වශයෙන් ද කටයුතු කර ඇත. ඔහු පාකිස්තාන ක්‍රිකට් සමාජයේ සභාපති ද වේ. ගාල්ල ෆ්‍රැන්චයිස් හි මූලික අරමුණ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුල ඉහළ මට්ටමකට ගෙන ඒමයි.

“ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි කාලය අපට ඉතා තීරණාත්මකයි. විශේෂයෙන් අපි පසුගිය තරගාවලියේ දී අසාම් ඛාන්, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ වැනි තරුණ ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන දස්කම් දුටුවා. ඔවුන්ගේ මෙම හැකියාවන් අපගේ කණ්ඩායමේ ඉදිරි ගමනට මහත් ශක්තියක්. ඊළඟ තරඟ වටයේදී පෙරටත් වඩා හොදින් ක්‍රීඩා කර ජයග්‍රාහී කුසලානය දිනා ගැනීම අපේ බලාපොරොත්තුවයි.” යනුවෙන් ඔමාර් මහතා පවසා සිටියි.

පසුගිය වසරේ පැවැති තරගාවලියේ මුල් අදියරේදී පාකිස්තානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර, පෞද්ගලික හේතු කිහිපයක් මත අෆ්රිඩිට තරගය අතරමගදී ඉවත් වීමට සිදුවීමත් සමඟ පසුව ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ විසින් එය භාර ගන්නා ලදී. කණ්ඩායමේ උපදේශකයා වූයේ හිටපු ජනප්‍රිය වේග පන්දු ක්‍රීඩක වසීම් අක්‍රම් ය.

Galle gladiators හි නිල ප්‍රවර්ධකයා වන ඩුබායි මූලස්ථානය කර ගත් IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා “Galle gladiators විසින් LPL තරගාවලියේ පළමු තරඟය තුළ විසල් දස්කම් පාමින් කැපීපෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. IPG දෙවන තරගාවලිය තුළදී ග්ලැඩියේටර්වරුන් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් දිගහරිණු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ගාල්ල කණ්ඩායමේ දස්කම් මෙම තරගාවලියේ වර්ධනයට ඉවහල් වන බව මට විශ්වාසයි. ” යනුවෙන් පවසා තිබේ.

2020 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රීඩා කළ ලංකා ප්‍රිමියර් ලීග් හි ( LPL) ආරම්භක තරගාවලිය රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය හරහා මිලියන 557 ක ජනතාවක් නරඹා ඇත.

එසේම අනුග්‍රාහකයින් ඩොලර් මිලියන 54.5 ක ලාභයක් භුක්ති විඳි අතර හිමිකම් අනුග්‍රහක MY11CIRCLE හි 9.85x ක ආදායමක් ලැබුණි. LPL පළමු තරඟයේ ජයග්‍රාහකයා වූ යාපනය ස්ටැලියන්ස් ඩොලර් මිලියන 3.98 ක මුදල් ත්‍යාගයක් හිමි කරගත් අතර අතර පසුව ගාල්ල ග්ලැඩියේටර්ස් ඩොලර් මිලියන 3.82, දඹුල්ල කිංග්ස් ඩොලර් මිලියන 3.54 සහ කිංග්ස් ටස්කර්ස් ඩොලර් මිලියන 3.19 ක මුදල් ත්‍යාග දිනාගන්නා ලදි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල Sky Sports, Sony Sports Network, Geo, PTV සහ Willow TV හරහා මෙය සජීවීව විකාශනය කරන ලද LPL තරඟය මිලියන 155 ක ජනතාවක් නරඹා ඇත.

එසේම සමාජ මාධ්‍ය තුළ එය මිලියන 218 ක නැරඹුම් වාරයක් දක්වා ළඟා වූ අතර LPL විසින් 133,478 ක සඳහන් කිරීමක්ද හිමි කරගෙන තිබේ. ලීගය සෑම තරඟයක් සමඟම නව ජීවයක් ලබන අතර ක්‍රීඩාවේ නිම්හිම් ජාත්‍යන්තර තලය තුළ බැබළ වීමටද දායක වන බවත් සඳහ් කරයි.

Visits: 80