Q+ ඇප් පහසුකමට ‘Online Pay’ විශේෂාංගය හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ගෙවීමේ ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමට ‘Q+ online Pay’ නැමති නවාංගය හඳුන්වාදෙමින් Q+  ගනුදෙනුකරුවන්ට නව්‍ය වූ ගෙවීම් අත්දැකීමක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇතැයි පවසයි.

මෙම නව හඳුන්වාදීම මගින් Q+  ගනුදෙනුකරුවන්ට ‘ComBank Q+’ ගෙවීම් විකල්පය තිබෙන වෙබ් අඩවි වලට සහ ඇප් පහසුකම් වලට තමන්ගේ ජංගම දුරකතනය අංකය ඇතුළත් කර අන්තර්ජාලය ඔස්සේ මිලදීගන්නා දේවල් සඳහා ගෙවීමේ අවස්ථාව ලබා දී ඇත.

මෙම අති නවීන ගෙවීම් ක‍්‍රමවේදය මගින් එය භාවිතා කරන්නන්ගේ ඉතාමත් සංවේදී කාඞ්පත් සහ ගිණුම් තොරතුරු වෙළෙඳුන්ගේ පද්ධති වලින් ඈත්කර කර තබන බව බැංකුව සඳහන් කරයි. මෙහිදී, ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන් භාණ්ඩ මිලදීගැනීමේදී සිදුකළ යුත්තේ තමන්ගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කිරීම පමණකි. වෙළෙඳ ආයතනයක වෙබ් අඩවියක් තුළින් ගනුදෙනුකරුවෙකු තමන්ගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර ගනුදෙනුව අවසන් කළ විට ගනුදෙනුකරුවාගේ Q+ ජංගම දුරකතක ඇප් පහසුකම තුළ ගෙවීම් දැනුම්දීම ඉක්මනින්ම දිස්වනු ඇත. එම දැනුම්දීම ක්ලික් කළ පසුව ගනුදෙනුකරුවා Q+ ‘Online Pay’ ටැබ් පහසුකම වෙත යොමුකරන අතර එහි අංක 04 කින් යුතු පුද්ගලික හඳුනාගැනීමේ අංකය ඇතුළත් කළ පසුව ගෙවීම ස්ථීර වනු ඇත. මෙහිදී, ගනුදෙනුකරුවා ගෙවීම ස්ථීර කළ පසුව එම ගෙවීම අනුමත කිරීම හෝ නොකිරීම පිළිබඳව වෙළෙන්දා දැනුවත් කරනු ඇත.

මේ අතර, කොමර්ෂල් බැංකුව විසින් ‘Q+ Online Pay’ හඳුන්වාදීමට සමගාමීව සිය ක්‍රෙඩිට් කාඞ් පියවීම් වෙබ් පිටුවට ‘Q+ Online Pay’ ගෙවීම් විකල්පය ඇතුළත් කර තිබේ. ඒ තුළින් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තමන්ගේ ජංගම දුරකතන අංකය පමණක් ඇතුළත් කර තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීම සඳහා බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ. මෙම ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් කිරීමට https://www.combankapps.lk/mpgs-client/ ලින්ක් එකට පිවිසෙන්න. මේ වනවිට Q+ ගෙවීමේ ඇප් පහසුකම මගින් ඬේටා රීලෝඞ්ස්, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, ජල සහ විදුලි (විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ) බිල්පත්, පේ ටී.වී. බිල්පත්, ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් සහ පෙර ගෙවුම් කාඞ්පත් වලට මුදල් දැමීම යන අංශ 08 ට අදාළ වන බිල්පත් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී ඇත. මෙම පහසුකම අධ්‍යාපන ආයතන සහ රක්ෂණ සමාගම් සඳහා මුදල් ගෙවීම වැනි පහසුකම් ඇතුළත් කරමින් තවදුරටත් ශක්තිමත් කරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. 

Visits: 55