අදානි සමූහය පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ඩො. බිලියන 20ක් ආයෝජනය කිරිමට යයි

ඉන්දියාවේ අදානි සමූහය ඉදිරි වසර 10ක කාලය තුළදී පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති ගෞතම් අදානි අනාවරණය කරයි.

අද පෙරවරුවේදී පැවැත් වුණු JP Morgan India Investor Summit නම් ආයෝජක සමුළුව අමතමින් ඔහු මේ බව අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම සිය සමූහයේ ඉදිරි හරිත දැක්ම පිළිබඳව කරුණු සඳහන් කරමින් ඔහු මේ බව පවසා ඇත. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, උපාංග නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන වෘපෘති වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට අපේක්ෂා කෙරේ.

අද වනවිට අදානි සමූහය වරාය මෙහෙයුම් හි සිට බලශක්ති උත්පාදනය යනාදී ව්‍යාපාර ක්ෂේත්‍ර වෙත පුළුල් වී තිබේ. ඒ අනුව ඉදිරි වසර හතරක කාලයේදී සිය පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව තෙගුණයකින් ඉහළ දැමීම අදානිගේ අරමුණ වී ඇත.

එහිදී පරිසරහිතකාමී හයිඩ්‍රජන් නිෂ්පාදනය, තම සියලුම දත්ත මධ්‍යස්ථාන පුනර්ජනනීය බලශක්තියෙන් සන්නද්ධ කිරීම, වසර 2025 වන විට සිය වරායන් කාබන් විමෝචනය ශුන්‍ය තත්ත්වයට පත් කිරීම මෙන්ම වසර 2025 වන තුරු සිය ප්‍රාග්ධන වියදම්වලින් 75%ක් පරිසරහිතකාමී තාක්ෂණයන් වෙත යෙදවීමත් සිදු කරන බව ගෞතම් අදානි මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ඉන්දියාවේ අදානි සමූහයට අයත් අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් නම් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි බටහිර පර්යන්තය ඉදිකිරීමේ ප්‍රධානතම ආයෝජකයා ලෙසින්ද කටයුතු කරයි. ඒ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිරියේදී ලොව කාබන් වි‍මෝචනය ශුන්‍ය තත්ත්වයට පත් කළ වරායක් ලෙස මෙහෙයුම් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

Visits: 422