ජූලි මාසයේදී කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආනයන වියදම 35%කින් අඩුවෙලා

පසුගිය ජූලි මාසයේදී මෙරට වෙත සිදු කරන ලද කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 16.2ක් වූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එය පසුගිය වසරේ ජූලි මාසයේදී එම ආනයන සඳහා සිදු කළ ඩොලර් මිලියන 24.8ක වියදම හා සැසඳීමේදී 35.0%ක අඩුවීමකි.

ඒ අනුව මේ වසරේ ජූලි මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයනය වියදම යටතේ ආහාර පාන වර්ග ආනයන වියදම පෙර වසරේදී සිදුකළ ආහාර හා පාන වර්ග ආනයන වියදමට සාපේක්ෂව 9.4%කින් අඩුවීම සඳහා මූලිකවම මෙම කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආනයන වියදමේ අඩුවීම බලපා තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ වෙතත් 2021 වසරේ ජූනි මාසයේදී මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 45.8ක් ලෙස සටහන්ව තිබූ අතර එය 2020 වසරේ ජූනි මාසයේදී වාර්තා වූ එම ආනයන වියදම හා සැසඳීමේදී 118.1%ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණි.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ මෙරට වෙත සිදු කළ කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආනයනයේ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 200.6ක් ලෙස සටහන්ව ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේදී මෙරටට ආනයනය කළ කිරිආශ්‍රිත නිෂ්පාදන වියදම වන එක්සත් ජනපද ඩොලර් මිලියන 205.6 හා සැසඳීමේදී 2.6%ක අඩුවීමක් ලෙස වාර්තා වී තිබේ.

2020 වසරේදී මෙරටට සිදු කර ඇති කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 33.8ක් ලෙස සටහන්ව ඇත. 2019 වසරේදී එය 311.9ක් වූ අතර 2007 වසරේදී එය 185.6ක් විය. ආසන්න කාලසීමාවේදී රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම ඉහළ යාමත් සමගින්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා වන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

2020 වසරේදී ආහාර හා පාන වර්ග යටතේ දෙවැනියට වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙනි. එහි වැඩිම වියදම එළවලු ආනයනය සඳහා වැය වී ඇති අතර, එය එක්සත් ජනපද ඩොලර් මිලියන 352.9 කි.

Visits: 139