පැය 24ක් තුළදී ඉන්දීය රු.කෝටි. 600ක් වටිනා Ola Electric විදුලි-ස්කූටර් අලෙවි වෙලා

ඉන්දියාව තුළ විදුලි ස්කූටර් අලෙවියේ ප්‍රමුඛයෙකු වන Ola Electric ස්කූටර් රථ සමාගම ගෙවුණු පැය 24ක කාලසීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 600ක් වටිනා ස්කූටර් රථ අලෙවි කර ඇතැයි පවසයි. ඒ අනුව මෙය තත්පරයකට විදුලි ස්කූටර් රථ 4ක් බැගින් අලෙවි වීමක් ලෙස සටහන්ව තිබේ.

2017 වසරේදී ඉන්දියාවේ පිහිටවුණු Ola Electric සමාගම එරට බැංගලෝරය තුළ සිය නිෂ්පාදන මෙහෙයුම් සිදු කරයි. මෙහිදී සමාගමට අයත් Ola S1 සහ S1 Pro යන ස්කූටර් මාදිලි මෙලෙස අලෙවි වී තිබේ. එම සමාගමේ ඇප් වැඩසටහන හරහා මෙම ස්කූටර් මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

පසුගිය සතියේදී එම සමාගමේ වෙබ් අඩවියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලි-ස්කූටර් අලෙවි පහත වැටුණු අතර, පසුගිය බදාදා දිනයේදී යළිත් එම අවස්ථාව ලබා දී තිබුණි. ඒ අනුව බදාදා පෙරවරුවේ සිට අද පෙරවරුව දක්වා මෙම මිලදී ගැනීම් සිදුව තිබේ. මෙහිදී සිදුවන ගනුදෙනු සියල්ලම ඩිජිටල් ආකාරයෙන් සිදු වීමත් විශේෂත්වයකි.

මේ අතර පසුගිය මාස කිහිපයේදී එම සමාගම ඉන්දියාව තුළ විදුලි-ස්කූටර් රථ වෙන්කරවා ගැනීමේ අවස්ථාවක් ලබා දුන් අතර එහිදී පාරිභෝගිකයන් ලක්ෂ ගණනින් Ola S1 සහ S1 Pro යන මාදිලි සඳහා ඇනවුම් ලබා දී තිබූ බව සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති Ola Electric සමාගමේ නිර්මාතෘ සහ සම සභාපති / සමූහ ප්‍රධාන විධායක නිලධාරී භාවේෂ් අග්රාවාල්, “ඊයේ දියේදී අපි මෙම ස්කූටර් රථ මිලදී ගැනීම සඳහා අවස්ථාව විවර කළා. එහිදී පෙර නොවූ විරූ ආකාරයේ අගයකින් ස්කූටර් මිලදී ගැනීම සඳහා පිරිස පැමිණියා. එතැනදී සෑම තත්පරයකදිම අපි ස්කූටර් 4ක් බැගින් අලෙවි කළා. මෙම පැය 24 දී අලෙවි කළ ස්කූටර්වල වටිනාකම රුපියක් කෝටි 600ක්. එය ඉන්දියාව තුළ රෝද දෙකේ රථ අලෙවියේ තැබූ අලුත්ම වාර්තාවක්. පැහැදිලිවම දැන් විදුලි මෝටර් රථ යුගය පැමිණිලා තිබෙන්නේ.” යනුවෙන් පවසා තිබේ.

පසුගිය මාසයේදී Ola Electric ෂමාගම සිය විදුලි ස්කූටර් රසඳහා විශේෂ හඳුන්වා දීමේ මිලක් ඉදිරිපත් කළ අතර එහිදී S1 සහ S1 Pro යන මාදිලි ඉන්දීය රුපියල් 99,999 කට (රජයේ ගාස්තු, ලියාපදිංචි ගාස්තු සහ රක්ෂණ වියදම් හැර) මිල කෙරී තිබුණි.

මෙම මිල ගණන් යටතේ එම විදුලි-ස්කූටර් මාදිලි මිලදී ගැනීමේ අවස්ථාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබේ. මෙම අවසන් පැය කිහිපයේදී ද ඉන්දියානුවන් Ola Electric සමාගමේ විදුලි-ස්කූටර් ඇනවුම් කිරීම සඳහා උනන්දුවෙමින් පවතින බවත් වාර්තා සඳහන් කරයි.

Visits: 373