ජොනතන් අලස් HNB Finance PLC සභාපති ධුරයෙන් ඉවත් වෙයි

බැංකු නොවන මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ජොනතන් අලස් මහතා එම ධූරයෙන් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉවත්ව ඇතැයි එම සමාගම පවසයි. පසුගිය සැප්තැම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ.

ජොනතන් අලස් මහතා HNB Finance PLC හි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු/සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ඒ මහතාගේ ඉවත්වීම පිළිබඳ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යැවූ ලිපිය සඳහා ප්‍රතිචාර අද දිනයේදී සමාගම වෙත ලැබීම මෙලෙස එම ඉවත්වීම පිළිබඳ දැනුම්දීම ප්‍රමාදවීමට හේතුව බවත් සමාගම සඳහන් කරයි.

මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට ජොනතන් අලස් මහතා සතුව HNB Finance PLC හි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොතිබුණු බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අලස් මහතා 2014 වසරේදී HNB Finance PLC හි සභාපතිවරයා ලෙස පත් විය. ඒ අනුව ඒ මහතා වසර හතක කාලයක් සමාගමේ සභාපතිවරයා ලසෙ කටයුතු කර ඇත. අලස් මහතා හැටන් නැෂනල් බැංකුවෙහි කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි.

Visits: 223