ගනුදෙනු දින 20කට පසුව අඩුම දෛනික පිරිවැටුම වාර්තා කරයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 450කින් පමණ පසුපසට ඇද දමමින් දින දෙකක් තුළදී කඩා වැටුණු වෙළෙඳපොළ අද (සැප්තැම්බර් 14) දිනයේදී ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම EXPO සහ LOLC සමූහයේ සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යාම ඊට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් දින 20කට පසුව වාර්තා කළ අඩුම පිරිවැටුම අද දිනයේදී වෙළෙඳ පොළ තුළ සටහන්ව ඇති අතර, එහිදී EXPO සහ BIL සමස්ත පිරිවැටුමෙන් 59%ක් සඳහා දායකත්වය ලබා දී ඇත. එසේම එම සමාගම් දෙක අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය ඒකක 155.72න් ඒකක 47කින් දායක වී ඇතැයිද ‍කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මේ අතර පෙර දින කිහිපයේදී ආයෝජකයන් තුළ පැවැති කැළඹිලිසහගත ස්වභාවය අද දිනය පුරාමත් දැකගත හැකි වූ නමුත්, දිනයේ අවසන් භාගයේදී ආයෝජක උනන්දුවේ යම් දියුණුවක් දැකගත හැකි වූ බවත් එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,536.83ත් ඒකක 8,737.63ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,692.60ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 13) දිනයට සාපේක්ෂව ඒකක 155.72ක් එනම් +1.82%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු නෙස්ලේ ලංකා සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනු පිරිවැටුමෙන් 3.9%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 151ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 34ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+34.0), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+14.9), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+12.9), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+8.6), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (+4.6), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-2.6), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.0), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-1.0), සම්පත් බැංකුව SAMP (-0.8), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-0.6යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,256.32ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 13) ‍ට සාපේක්ෂව ඒකක 52.25ක එනම් +1.63%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.59ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 13) වාර්තා කළ රුපියල් බිලියන 6.76ට සාපේක්ෂව 47% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.87ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 30.83%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 168.89ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 218.97ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 50.08කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 42.62ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටීජේලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 23.30කි. එසේම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 57.38ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,580ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 44%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 737ක සහ රුපියල් මිලියන 364ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 212