නීතිවිරෝධීව ගෙනා භාණ්ඩ සහිත ගුදම් 6ක් ඇමති රෝහිතගේ නිරීක්ෂණයට

ආනයන නීතිරීති උල්ලංඝණය කරමින් මෙරටට ගෙන එනු ලැබූ විවිධ භාණ්ඩ ගබඩා කර ඇති වරාය අධිකාරි පරිශ්‍රයේ ඇති රේගු ගුදම් (Bonded Warehouse) හයක් අද දිනයේදී සිය නිරීක්ෂණයට ලක් කළ බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මෙම භාණ්ඩ සම්බන්ධයෙන් රේගුව විසින් නඩු පවරා ඇති අතර, ඒවා වසර ගණනාවක් තුළ නොවිසඳී ඇති බැවින් මෙලෙස කොළඹ වරාය පරිශ්‍රයේ ඇති රේගු ගුදම් තුළ දිරාපත් වෙමින් සහ විනාශ වෙමින් යන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.

ඒ අනුව මෙම නීතිමය කටයුතු හැකි ඉක්මණින් අවසන් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අවධානයට යොමු කළ බවද අමාත්‍ය අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

එසේම මෙම ගුදම් හය අද වනවිට අබලන් සහ අපිලිවෙල වී ඇති හෙයින් ඉක්මනින් ඒවා සංවර්ධනය කර අලංකාර ස්ථානයක් බවට පත් කළ යුතු බවද අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබේ.

“ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු ලෝකය ඉදිරියේ අප රටේ කැඩපතක් බඳුය. එබැවින් එය ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමද මේ හරහා බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මෙම අවස්ථාව සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකාවරාය අධිකාරියේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු වරාය සහ රේගුවේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී තිබේ.

Visits: 279