ලංකෙම් සිලෝන් ACME Printing & Packaging සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට සූදානම්ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම තවත් ලැයිස්තුගත සමාගම් සහ ආයෝජකයන් කිහිප දෙනෙකුද සමගින් එක්ව ACME Printing & Packaging PLC සමාගමෙහි 31.48%ක කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගත් බව පවසයි.

පසුගිය සැප්තැම්බර් 10 වැනිදා මෙම අත්පත් කරගැනිම සිදුව තිබේ. ඊට පෙර සැප්තැම්බර් 08 වැනිදා ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම අයත් EB Creasy & Company PLC මගින් ACME Printing & Packaging PLC සමාගමෙහි කොටස් මිලියන 8ක් (8,200,000ක්) එනම් 19.92%ක ප්‍රතිශතයක් මිලදී ගැනීමෙන් අනතුරුව මෙම මිලදී ගැනීම සිදුව තිබේ.

ඒ අනුව EB Creasy & Company PLC මගින් කොටස් 8,200,000ක් (19.92%ක්), ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම මගින් කොටස් 2,972,822ක් (7.22%ක්), එස්.ඩී.ආර්. අරුද්ප්‍රගසම් මහතා විසින් කොටස් 1,031,525ක් (2.51%ක්), යුනියන් කොමොඩිටීස් (පෞද්) සමාගම මගින් 584,754 ක් (1.42%ක්), කලම්බු ෆෝර්ට් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම මගින් කොටස් 80,000ක් (0.19%ක්), කලම්බු ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී මගින් කොටස් 68,010ක් (0.17%ක්) සහ කලම්බු ෆෝර්ට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින්ග් පීඑල්සී මගින් කොටස් 20,000ක් (0.05%ක්) ලෙස මෙම අත්පත් කරගැනිම සිදුව තිබේ.

මෙහිදී කොටස් 12,957,111ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර එය ACME Printing & Packaging PLC හි සමස්ත කොටස් හිමිකමෙන් 31.48%ක ප්‍රතිශතයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර 1995 වසරේ (සංශෝධිත) සමාගම් අත්පත් කරගැනීම සහ ඒකාබද්ධ කිරීම පිළිබඳ වගන්තියට අදාළව ඉදිරියේදී ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම මගින් ACME Printing & Packaging PLC සමාගමෙහි ඉතිරි කොටස් 28,204,802ත් අත්පත් කරගැනීමට ඉදිරිපත්ව සිටින බවත්, එය සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 68.52%ක ප්‍රතිශතයක් බවත් පැවසෙයි.

Visits: 479