ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 35.4%කින් පහළට

පසුගිය ජුලි මාසයේදී මෙරට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 453ක් ලෙස සටහන්ව ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2020 වසරේ ජුලි මාසයේදී වාර්තා වූ ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 702 හා සැසඳීමේදී 35.4%ක අඩුවීමකි.

ජූලි මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව පවසයි. ඒ අනුව මේ වසරේ ජූනි මාසයේදී පැවැති ප්‍රවණතාවට අනුවම ජූලි මාසයේදීත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් අඩුවී තිබේ.

මේ අතර 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලසීමාවේදී මෙරටට හිමි වූ සමස්ත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,778කි. එය 2020 ජනවාරි සිට ජූලි දක්වා හිමි වූ සමස්ත ප්‍රේෂණ මුදල් වටිනාකම වූ ඩොලර් මිලියන 3,682 හා සැසඳීමේදී 2.6%ක වර්ධනයකි.

Views: 126