විශාල සමාගම්වල කොටස් වටිනාකම් පහත වැටීමෙන් දර්ශක අගයන් කඩා වැටේ

අද (සැප්තැම්බර් 13) දිනයේදී කොටස් හුවමාරුව තුළ ගනුදෙනු ආරම්භයේ සිටම දර්ශක අගයන් දෙකෙහිම අගයන් පහත වැටීමක් දක්නට ලැබුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්වල කොටස් වටිනාකම් දරුණු ලෙස පහත වැටීම ඊට හේතුව විය. මීට අමතරව හෝටල් අංශයද ඇතුළුව තවත් අංශ කිහිපයකම කොටස් අගයන් පහ වැටීම සිදුවූ බවත් එම සමාගම් පවසයි.

මේ අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පැයකට ආසන්න කාලයක් කොටස් හුවමාරුවේ ගනුදෙනු අත්හිටුවීමත් මෙම පහත වැටීමේ ප්‍රවණතාව යම් තරමකින් ලිහිල් කිරීමට හේතුවක් වී තිබේ. එහෙත් රටෙහි ආර්ථික තත්ත්වයේ සම්බන්ධ කාරණා හේතුවෙන් තනි පුද්ගල ආයෝජකයන් තුළ පෙන්නුම් කළ කලබලකාරී කොටස් අලෙවිය තවදුරටත් ඉහළ දැමිමට හේතුවක් වූ බවද තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,503.55ත් ඒකක 8,868.69ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,536.88ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 10) දිනයට සාපේක්ෂව ඒකක 328.42ක් එනම් -3.7%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ හේලීස් පීඑල්සී සමාගම්හි ගනුදෙනු පිරිවැටුමෙන් 11.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 24ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 174ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (+1.3), සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී GUAR (+0.6), ඔන් ඇලි හෝල්ඩිංග්ස් ONAL (+0.6), එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී AHUN (+0.4), සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී CHL (+0.2), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-109.7), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-37.6), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-22.6), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-17.2), හේලීස් පීඑල්සී HAYL (-8.0යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,204.07ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 10) ‍ට සාපේක්ෂව ඒකක 131.44ක එනම් -3.94%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.76ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 10) වාර්තා කළ රුපියල් බිලියන 6.91ට සාපේක්ෂව 2.2% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 28.49%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 38.88ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 735.83ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 696.95කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 42.57ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.44කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 719.92ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,032ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 45%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,644ක සහ රුපියල් මිලියන 954ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 420