ආනයන අධෛර්යමත් කිරීමට තෝරාගත් භාණ්ඩ සඳහා 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවේ

වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී, 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් අද දිනයේදී තීරණය කළ බව මහ බැංකුව පවසයි.

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි යටතේ මෙම පැනවීම සිදු කරන බව මහ බැංකුව පවසයි. අද දිනයේදී පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ තීන්දුව ගෙන තිබේ.

විශේෂයෙන්ම අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳ පොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කරන උත්සාහයන්ට සහාය වන පරිද්දෙන් මෙම නියමයන් පැනවීම සිදු කර තිබෙන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙහිදී විදුලි සංදේශ උපකරණ (ජංගම දුරකතන සහ ස්ථාවර දුරකතන), ගෘහ විදුලි උපකරණ (විදුලි පංකා, රූපවාහිනි, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ඩිජිටල් කැමරා, කොණ්ඩය සකසන උපකරණ, ජලය උණුකරන උපකරණ, විදුලි ලාම්පු, උදුන් වැනි), රෙදිපිළි සහ උපාංග (ළදරු ඇඳුම්, සංකුචික මේස්, ජර්සි, රාත්‍රී ඇඳුම් සහ පිජාමා, කබා , කමිස සහ බ්ලවුස්, ඇදුම් කට්ටල, ජව ඇඳුම් කට්ටල සහ පිහිනුම් ඇඳුම්, ටී ෂර්ට්, යට ඇඳුම්, පාවහන්, අත් ඔර්ලෝසු, අව් කණ්නාඩි සහ වෙනත් උපාංග), ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ, රබර් ටයර්, වායු සමීකරණ යන්ත්‍ර, පළතුරු (නැවුම් ඇපල්, මිදි, දොඩම් සහ වියළි පළතුරු, පළතුරු යුෂ වැනි), සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍ය (සුවඳ විලවුන්, වේෂ නිරූපණ උපාංග), පානවර්ග (බියර්, වයින්, බෝතල්කළ ජලය වෙනත් බීම), වෙනත් ආහාර සහ පාන වර්ග (ධාන්‍ය සැකසීම, පිෂ්ඨය, චොකලට්, මෝල්ට්, කටු ගැලවූ මාලු, චීස්, බටර් වැනි) සහ වෙනත් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ (සංගිත භාණ්ඩ, දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු සහ ලිපිද්‍රව්‍ය වැනි) යනාදිය ඇතුළත් වෙයි.

මහ බැංකුව සඳහන් කරන ආකාරයට මෙම තෝරාගත් අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන භාණ්ඩ ආනයනය සඳහා මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 753.4ක් වැය වී තිබේ. එසේම පසුගිය 2020 වසරේදී ඒ සඳහා ඩොලර් මිලියන 871.2ක්ද, 2019 වසරේදී ඒ සඳහා ඩොලර් මිලියන 1,057.9ක්ද වැය වී ඇත.

Visits: 407