දර්ශක අගයන් ඉහළ යද්දී සති තුනකට පසු වෙළෙඳ පොළ අඩුම දෛනික පිරිවැටුම වාර්තා කරයි

අද (සැප්තැම්බර් 09) දිනයේදී කොටස් හුවමාරුව තුළ ගනුදෙනු ආරම්භයේදී යම් වාෂ්පෂීලතාවක් පෙන්නුම් කළත් පසුව එය වඩාත් හොඳින් ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම්වල කොටස් වටිනාකම් ඉහළ යාමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඊයේ දිනයේ සිදු වූ වෙළෙඳ පොළ අලාභයන් අකාමකා දැමීමට එය හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මේ අතර වටිනා සමාගම් සඳහා වන මිලදී ගැනීමේ උනන්දුව තවදුරටත් ඉහළ යාමක්ද අද දිනයේදී සිදුව තිබේ. එහෙත් සති තුනකට පසුව දිනයේ පිරිවැටුම අඩුම අගයකට පත්ව ඇත. විශේෂයෙන්ම රටෙහි ආර්ථික තත්ත්වය පිළිබඳ වන කණස්සල්ල ඒ සඳහා හේතුව වී තිබෙන බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,724.18ත් ඒකක 9,014.65ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,986.40ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 08) දිනයට සාපේක්ෂව ඒකක 222.19ක් එනම් +2.54%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු සම්පත් බැංකුව, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්, හැටන් නැෂනල් බැංකුව ඡන්ද හිමි සහ හැටන් නැෂනල් බැංකු ගනුදෙනු පිරිවැටුමෙන් 6.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 158ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 33ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+25.8), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+22.9), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+20.5), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+17.5), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+12.3), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-0.8), ජොන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-0.7), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-0.5), ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී JETS (-0.5), ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී DIMO (-0.3යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,379.83ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 08) ‍ට සාපේක්ෂව ඒකක 66.81ක එනම් +2.02%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.79ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 08) වාර්තා කළ රුපියල් බිලියන 10.44ට සාපේක්ෂව 44% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.00ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 35.26%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 410.67ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 305.96ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 104.71කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 41.82ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය නෙස්ලේ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 110.14කි. එසේම සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 12.71ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,777ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 29%කි. එසේම ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,699ක සහ රුපියල් මිලියන 623ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 393