රේනුකා හෝල්ඩිංග්ස් සභාපති/උපසභාපති රාජියාහ් දෙපළ සමාගමෙහි රු.මි. 40ක් වටිනා කොටස් මිලදී ගනී

රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි විධායක සභාපතිනිය වන අයි.ආර්. රාජියාහ් මහත්මිය සහ විධායක උප සභාපතිවරයා වන වෛද්‍ය එස්.ආර්. රාජියාහ් මහතා යන දෙපළ විසින් සමාගමෙහි සාමානය ඡන්ද හිමි කොටස් මිලියන 2.5ක් (2,502,000ක්) ඒකාබද්ධව මිලදී ගෙන ඇතැයි පවසයි.

ඊයේ (සැප්තැම්බර් 08 වැනිදා) මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී කොටසක් රුපියල් 16.00ක් බැගින් මෙම මිලදී ගැනීම සිදුව ඇති අතර, ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 40ක් (40,032,000ක්) ලෙස සටහන්ව තිබේ. දෙදෙනාම ඒකාබද්ධව මෙම මිලදී ගැනීම සිදු කර ඇත.

පසුගිය අගෝස්තු 16 වැනිදා නිකුත් කෙරුණු රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි 2021.06.30 සඳහා වන අතැමැදි මූල්‍ය ප්‍රකාශනයට අනුව 2021 ජුනි 30 වැනිදා වන විට සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 22,448.894ක් වෛද්‍ය එස්.ආර්. රාජියාහ් සහ අයි.ආර්. රාජියාහ් යන දෙපළ එක්ව ඒකාබද්ධව පවත්වාගෙන යන ගිණුමට අයත්ව තිබුණි. එය සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 14.41%ක් විය.

ඒ අනුව මෙම කොටස් මිලියන 2.5ක මිලදී ගැනීමත් සමගින්ම දෙපළ සතුව පවතින රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වය කොටස් 24,950,894ක් දක්වා ඉහළ යාම සිදු වී තිබේ.

මේ අතර රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සි සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන ඒ.එල්. රාජියාහ් මහත්මිය ඊයේ තමන් සතුව තිබූ සමාගමෙහි කොටස් මිලියන 1.25ක් (1,251,000ක්) අලෙවි කිරීමට පියවර ගත්තාය.

එහිදීද කොටසක් රුපියල් 16.00ක් බැගින් අලෙවි කිරීම සිදුව තිබෙන අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල්මිලියන 20ක් (20,016,000ක්) ලෙස සටහන්ව තිබේ. මේ අතර 2021 ජූනි 30 වැනිදා වනවිට A.L. රාජියාහ් මහත්මිය සතුව ඇති රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් සංඛ්‍යාව 4,578,870කි. එය සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 2.94%ක් ලෙස සටහන්ව ඇත.

Visits: 791