වැලිකඩ බන්ධනාගාර භූමියේ අක්කර 40ම දැනටමත් ආයෝජකයන් සඳහා වෙන්වෙලාලු

බොරැල්ල නගරය ආසන්නයේ පිහිටා ඇති වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමෙන් අනතුරුව හිස්වන අක්කර 40ක් පමණ වන ඉඩම දැනටමත් ආයෝජකයන් සඳහා වෙන් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව සඳහා එක්වෙමින් එම ආයතනය සහ අමාත්‍යාංශය මෙම කරුණු අනාවරණය කර තිබේ.

බොරැල්ල පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමිය අක්කර 40 කි. එහි ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැළසුම්කර තිබේ.

එසේම තවත් අක්කර 35ක භූමියක් වෙනත් ආයෝජන සඳහා වෙන් කර ඇති බවත්, ඊටද ආයෝජකයන් කිහිප දෙනෙකු එකඟතාව පළ කර ඇති බවත් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙහි දී පෙන්වා දී ඇත.

එසේම දැනට එසේ කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙම හමුවේ දී උපදෙස් දුන් බවත් පැවසෙයි.

Visits: 204