පිට පිට දෙවැනි දිනටත් දර්ශක අගයන් ඍණ වෙයි

අද (සැප්තැම්බර් 06) දිනයේදී කොටස් හුවමාරුව තුළ කොටස් වටිනාකම් පිළිබඳව පෙන්නුම් කළ ඉක්මණින් ඉහළ පහළ යාමේ ස්වභාවය (වාෂ්පශීලතාව) හේතුවෙන් පිට පිට දෙවැනි දිනටත් දර්ශක අගයන් ඍණ අගයකට පත්විය. එහිදී පිරිවැටුම මෙන්ම ආයෝජක සහභාගිත්වයද පෙර සතියට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කළත්, තවදුරටත් ඒවා ඉතා හොඳ මට්ටමකින් පවතින බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

විශේෂයෙන්ම ලාභ ඉපැයීම් සඳහා ආයෝජකයන් යොමුවීම සහ විදේශ ආයෝජන පිටතට ගලායෑම් ඉහළ යාම යනාදී කාරණා මෙන්ම රටෙහි ආර්ථික තත්ත්වයද ආයෝජකයන්ගේ උනන්දුව කෙරෙහි බලපා තිබෙන බවද එම සමාගම් වැඩිදුරටත් පවසයි.    

ඒ අනුව අද දිනයේදී ඒකක 9,192.55ත් ඒකක 9,327.08ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,227.88ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 03) දිනයට සාපේක්ෂව ඒකක 88.77ක් එනම් -0.95%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනුවක් පිරිවැටුමෙන් 1.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 81ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 106ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+10.1), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+2.9), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.1), ඩිල්මා ටී සිලෝන් පීඑල්සී CTEA (+1.9), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+1.6), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-25.2), කොමර්ෂල් ලීසිංඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-10.0), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.7), වැලිබල් වන් පීඑල්සී VONE (-7.4), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-6.0යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,452.41ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 03) ‍ට සාපේක්ෂව ඒකක 42.35ක එනම් -1.21%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.73ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 03) වාර්තා කළ රුපියල් බිලියන 9.38ට සාපේක්ෂව 18% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.11ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 38.89%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 476.34ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 858.54ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 382.2කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 41.59ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.36කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 200.99ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,299ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම ප්‍රාග්ධණ භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,804ක සහ රුපියල් මිලියන 1,792ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 369