NDB බැංකුව රුපියල් බිලියන 8ක ණයකර නිකුතුවකට සැරසෙයි

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන NDB (National Development Bank) බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 8ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි.

ඊයේ පැවැති එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ සඳහා වන තීරණය ගෙන තිබේ. මෙහිදී බාසෙල් III අනුකූල – අදියර 2, ලැයිස්තුගත කෙරුණු, වර්ගකෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, ආපසු මුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කෙරෙන බව බැංකුව පවසයි.

ඒ අනුව මෙම නිකුතුවේ මූලික නිකුත් කිරිම ලෙස බාසෙල් III අනුකූල – අදියර 2, ලැයිස්තුගත කෙරුණු, වර්ගකෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, ආපසු මුදවාගත හැකි ණයකර කොටස් මිලියන 60ක් (60,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී ඇත.

එසේම මේ මූලික නිකුතුවට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කරන බවත් බැංකුව පවසයි. ඒ අනුව සමස්ත නිකුතුව මගින් නිකුත් කරන කොටස් ප්‍රමාණය කොටස් මිලියන 80කි (80,000,000ක්).

මෙහිදී අදියර දෙකේදීම නිකුත් කෙරෙන ණයකර කොටසක් රුපියල් 100 ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේම වටිනාකම රුපියල් බිලියන 8ක් (8,000,000,000) ලෙස ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම බැංකුවෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවිය යුතුව ඇතැයි NDB බැංකුව පවසයි.

NDB බැංකුව 2020 සැප්තැම්බර් මාසයේදීද රුපියල් බිලියන 6.5ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කළ අතර ඊටද අධි දායකත්වයක් හිමි විය.

Visits: 225