“පොල් අරක්කු ළඟදීම පොහොසතුන්ගේ පානයක් පමණක් වේවි” – හැරී ජයවර්ධන

පොල් ආශ්‍රිත අරක්කු නිෂ්පාදනය සඳහා රජය විසින් පනවා ඇති සුරාබදු සහ අනෙකුත් බදු පැනවීම් හේතුවෙන් ඒවායේ මිල ඉහළ යාම නිසා එම නිෂ්පාදනවල අලෙවිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි මෙරට මුල් පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතා පවසයි.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කෙරුණු සමාගමේ වාර්ෂික වාර්තාව වෙත සටහනක් තබමින් ජයවර්ධන මහතා මේ බව සඳහන් කර තිබේ.

“පොල් අරක්කු සඳහා රජය විසින් සුරාබදු සහ අනෙකුත් බදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවායේ අලෙවිය තවදුරටත් පහත වැටීමට ලක්වෙලා තිබෙනවා. අද බොහෝ පාරිභෝගිකයන්ට පිරිසිදු පොල් අරක්කු නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාවක් නැති වෙලා.” සභාපතිවරයා පවසයි.

ඒ අනුව බලධාරීන් දැන්වත් මේ සුරාබදු සහ අනෙකුත් බදු පිළිබඳව අවධානය යොමු කරමින් රටෙහි පාරම්පරික පොල් ආශ්‍රිත අරක්කු නිෂ්පාදන සියලුම පාරිභෝගිකයන් වෙත මිලදී ගැනීමට හැකි ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.

“එවැනි පියවරක් නොගතහොත් ශ්‍රී ලාංකික පොල් අරක්කු නිෂ්පාදන භුක්තිවිඳීම ඇතිහැකි පොහොසතුන් වෙත පමණක් හිමි අවස්ථාවක් පමණක් බවට පත්වේවි.” හැරී ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රවණතාව දැන් සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බවත් ඔහු පවසයි.

ඒ අනුව පසුගිය කාලසීමාවේදී සිය මිලිලීටර් 180 (කාල බෝතලය) නිෂ්පාදන සඳහා වන ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, කා අතරත් වඩාත් ජනප්‍රියව තිබූ මිලිලීටර් 750 බෝතල් අලෙවිය මේ වනවිට වාර්තාගත ලෙස පහතවැටී ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

පසුගියදා නිකුත් කෙරුණූ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමෙහි වාර්ෂික වාර්තාවට අනුව සමාගම 2020/21 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 93ක දළ පිරිවැටුමක් රැස් කරගැනීමට සමත්ව ඇත.

එසේම එම කාලසීමාවේදී බදු ලෙස රුපියල් බිලියන 68ක් රජය වෙත ගෙවා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 18%ක වර්ධනයකි. මීට අමතරව බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 7ක් වාර්තා කර ඇත. එය පෙර මූල්‍ය වර්ෂයේදී වාර්තා කළ රුපියල් බිලියන 5.8ට සාපේක්ෂව 26% ක වර්ධනයකි.

Visits: 1021