කොටස් හුවමාරුව වෙත ආයෝජනයට පිවිසෙන තනි පුද්ගලන් සහ සමාගම් සංඛ්‍යාව ඉහළට

කොළඹ කොටස් හුවමාරුව තුළ ආයෝජනය සඳහා පැමිණෙන තනි පුද්ගල ආයෝජකයන් සහ ආයෝජක සමාගම් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

විශේෂයෙන්ම 2010 වසරට සාපේක්ෂව 2021 වසර වනවිට කොටස් හුවමාරුව තුළ ආරම්භ කර ඇති ආයෝජක ගිණුම් සංඛ්‍යාව 55%කින් ඉහළ ගොස් ඇති අතර, ගනුදෙනු ප්‍රමාණයද මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම ඊට හොඳම සාක්ෂියක් බවද පුවත්පත පෙන්වා දෙයි.

කොටස් හුවමාරුව මගින් නිකුත් කළ දත්ත යොදා ගනිමින් මේ පිළිබඳ විශ්ලේෂනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් එම පුවත්පත මෙම කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව 2021 වසරේ ජූනි මාසය අවසන් වනවිට ආරම්භ කර තිබූ මධ්‍යම තැන්පතු පද්ධති ගිණුම් සංඛ්‍යාව (CDS) 659,578කි. එය 2010 වසරේදී පැවැති ගිණුම් සංඛ්‍යාව වූ 424,288ට සාපේක්ෂව 55.4%ක වර්ධනයකි. එසේම එය 2014 ට සාපේක්ෂව 14%ක වර්ධනයක් බවත් පුවත්පත පවසයි. එහිදී විශේෂයෙන්ම මෙම වසර දෙකම වෙළෙඳ පොළ තුළ ඉහළ ගැනුම්බරතාවක් පැවැති වසර දෙකක් බවද පැවසෙයි.

මේ අතර CDS ගිණුම් ආරම්භ කරන තනි පුද්ගල ආයෝජකයන්ගේ සංඛ්‍යාවද මෙම කාලසීමාවේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව 2010 ජූනි මාසයේදී පැවැති එම ගිණුම් සංඛ්‍යාව වූ 6,114ට සාපේක්ෂව 2021 වසරේ ජුනි මාසය වනවිට එම ගිණුම් සංඛ්‍යව 11,294ක් දක්වා 85%කින් ඉහළ ගොස් ඇත.

එසේම 2014 ජූනි මාසයේ සිට 2021 ජූනි මාසය දක්වා කාලය තුළදී සමාගම් මගින් පිහිටුවා ගන්නා ලද CDS ගිණුම් සංඛ්‍යාව 31%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මීට අමතරව විදේශීය සමාගම්ද ගෙවුණු කාලයේදී වැඩි වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ලියාපදිංචි වෙමින් සිටින බවත් පුවත්පත පවසයි. ඒ අනුව 2010 දී ලියාංපදිචිව සිටි 3,893ක් වූ විදේශීය ආයෝජක සමාගම් සංඛ්‍යාව 2014 දී 4,705ක් දක්වා ඉහළ නැග ඇත. එසේම 2021 වන විට එය 5,718ක් බවට පත්ව තිබේ.

එසේම 2010 සහ 2021 ජූනි මාසය අතරතුරදී මෙම ලියාපදිංචිවීම්හි 47%ක වර්ධනයක් පවතින අතර 2014 සිට 2021 ජූනි දක්වා එය 21%ක වර්ධනයකි.

කෙසේ වෙතත් පසුගිය වසරේදී සහ මේ වසරේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි විදේශ මුදල් පිටතට ගලායෑම් වැඩි වශයෙන් දැකගත හැකි අතර, 2020 වසරේදී රුපියල් බිලියන 50ක් වූ මෙය 2021 වසරේ මේ දක්වා රුපියල් බිලියන 41ක් බවට පත්ව ඇතැයිද පුවත්පත පෙන්වා දෙයි.

තත්ත්වය මෙසේ පවතිද්දී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සඳහා දේශීය ආයෝජකයන් දක්වන දායකත්වය වසරේ මේ දක්වා 93%ක් ලෙස වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබේ. මෙය එතෙක් මෙතෙක් ඉහළම ප්‍රතිශතයද වෙයි. එහිදී දේශීය තනි පුද්ගල ආයෝජකයන් පිරිවැටුම සඳහා 56% ක දායකත්වයක්ද, සමාගම් ආයෝජකයන් 37.2%ක දායකත්වයක්ද ලබා දී තිබේ.

2010 වසරේදී මෙම දායකත්වය එය 81.5%ක් ලෙස සටහන්ව ඇති අතර, 2014 දී එය 72.4%ක් ලෙස සටහන්ව තිබේ. පසුගිය 2020 වසරේදී එය 80.1%ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර වෙළෙඳ පොළ ගනුදෙනුවල සාර්ථකත්වය පෙන්නුම් කරමින් පසුගිය අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 143.5ක සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට කොළඹ කොටස් හුවමාරුව සමත් විය. එය පසුගිය ජුලි මාසයේ පිරිවැටුම හා සැසඳීමේදී 167% ක වර්ධනයකි.

එසේම අගෝස්තු මාසයේදී ගනුදෙනු වූ කොටස් සංඛ්‍යාව බිලියන 6.2කි. එය ජුලි හා සැසඳීමේදී 96%ක ඉහළ යාමකි. මේ අතරම ASPI සහ S&PSL20 දර්ශකද 10%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මීට අමතරව අගෝස්තු මාසය නිමා වනවිට වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4ක් දක්වා 11.4%කින් වර්ධනය වී තිබේ.

මේ අතර සැප්තැම්බර් මාසය ආරම්භ වූ ගතවුණු ගනුදෙනු දින 3ක කාලය තුළදී ඉතාමත් ඉහළ පිරිවැටුමක් වාර්තා කිරීමට සමත්වීමත් සමගින්ම 2021 වසරේ සැප්තැම්බර් මාසය 2020 වසරේ වාර්තා කළ සුපිරි සැප්තැම්බරයේ අවස්ථාවක් නැවත සටහන්වීමක් ලෙස සැලකිය හැකි බවද කොටස් හුවමාරුව හා සම්බන්ධ පාර්ශ්වයන් සඳහන් කර සිටින බවත් පුවත්පත වැඩිදුරටත් පවසයි.

Visits: 710