ඉන්දියාවේ දෝෂ සහිත මරුටි සුසුකි නිෂ්පාදන 181,754ක් ආපසු කැඳවෙයි

ආරක්ෂාව පිළිබඳව දෝෂ සහිත බවට අනාවරණය වී ඇති මරුටි සුසුකි මෝටර් රථ නිෂ්පාදන 181,754ක් ආපසු කැඳවීමට තීරණය කර තිබෙන බව ඉන්දියාවේ විශාලතම මෝටර්රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි ලිමිටඩ් සමාගම පවසයි.

පසුගියදා නිවේදනයක් මගින් එම සමාගම මෙම කරුණු අනාවරණය කර තිබුණි. ඒ අනුව මෙම මෝටර් රථ ආපසු ගෙන්වා ගෙන ඒවායේ ඇති දෝෂය අලුත්වැඩියාවට ලක් කිරීම අදහස බව සමාගම පවසයි.

මෙහිදී සමාගම මගින් 2018 මැයි 4 වැනිදා සිට 2020 ඔක්තෝබර් 27 වැනිදා දක්වා නිෂ්පාදනය කෙරුණු Ciaz, Ertiga, Vitara Brezza S-Cross සහ XL6 යන පෙට්‍රල් මෝටර් රථ මාදිලි මෙලෙස ආපසු කැඳවීමක් සිදු කර තිබෙන බව සඳහන් කර තිබේ.

මෙය එතෙක් මෙතෙක් එම සමාගම මගින් සිදු කළ විශාලතම මෝටර් රථ නිෂ්පාදන ආපසු කැඳවීම ලෙසද සැලකෙයි. මීට පෙර 2014 වසරේ අප්‍රේල් මාසයේදීද මරුටි සුසුකි සමාගම මෙවැනිම ආකාරයට සිය මෝටර් රථ නිෂ්පාදන 103,311ක් ආපසු කැඳවීම සිදුවිය. එහිදී 2013 නොවැම්බර් 12 වැනිදා සිට 2014 පෙබරවාරි 4 වැනිදා දක්වා නිපදවූ Ertiga, Swift සහ DZire යන නිෂ්පාදන ආපසු කැඳවුණු අතර, ඒවායේ පෙට්‍රල් පෙරණයේ බට මාරුකිරීමක් එහිදී සිදුවිය.

මේ අතර ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව මාස 10ක් වැනි කාලයක් තුළදී මරුටි සුසුකි සමාගම සිදුකළ දෙවැනි මෝටර් රථ ආපසු කැඳවීමද මෙය වෙයි. මෙලෙස ආපසු කැඳවෙන මෝටර් රථ පරීක්ෂා කර කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව අලුත්වැඩියා කර දෙන බව මරුටි සුසුකි සමාගම පවසයි.

එහිදී මෙම අලුත්වැඩියා කිරීම් බලයලත් මරුටි සුසුකි අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන තුළදී ලබන නොවැම්බර් මස 01 වැනිදාසිට ආරම්භ කිරීමටද නියමිතව තිබේ.

Visits: 148