“හිටපු මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට බලපෑමක් කළේ නෑ” – රාජ්‍ය ඇමති කබ්රාල් කියයි

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වශයෙන් තමාට හිමිවිය යුතුව ඇති විශ්‍රාම වැටුපක් සම්බන්ධයෙන් පමණක් මහ බැංකුවෙන් විමසීමක් සිදු කළ බවත්, ධුර දැරූ අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් තමන් කිසිවිටෙකත් සිදු කර නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (සැප් 05දා) දිනයේදී සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි Cabraal pushes for pensions with arrears for all Central Bank governors යන ශීර්ෂපාඨය යටතේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල මේ බව පවසා තිබේ.

“හිටපු සියළුම මහබැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල්ද ඇතුළුව විශ්‍රාම වැටුප් ලබා දීමට කබ්රාල් උත්සාහ කරයි (“Cabraal pushes for pensions with arrears for all Central Bank governors) යන මැයෙන් 2021 සැප්තැම්බර් මස 5 වන ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධවයි:

එම ප්‍රවෘත්ති පිළිබඳ සත්‍ය කරුණු මෙසේය:

1. මා මහබැංකු අධිපති වශයෙන් 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් සේවය කළෙමි.

2. මාගේ පත්වීම් ලිපියට අනුව “විශ්‍රාම” වැටුපකට මට හිමිකමක් ඇත.

3. මා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද කිසිදු විශ්‍රාම වැටුපක් මා වෙත ලබාදී නොතිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් 2019.02.12 දින එවකට මහබැංකු අධිපති කුමාරස්වාමිට මවිසින් දැනුම් දෙන ලදී.

4. අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක මවිසින් සිදු කර නොමැත.

යනුවෙන් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය සටහනේ සඳහන් කර තිබේ.

Visits: 100