මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමාගම ඖෂධ පර්යේෂණ සමාගමක් මිලදී ගනී

ඉන්දියාවේ අංක එකේ ධනවතා වන සුප්‍රසිද්ධ ව්‍යපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමෙහි පරිපාලිත සමාගමක් වන රිලයන්ස් ස්ට්‍රැටජික් බිස්නස් වෙන්චර්ස් විසින් එරට Strand Life Science සමාගමේ කොටස් මිලියන 22.8ක් ඉන්දීය රුපියල් මිලියන 393කට මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.

එසේම ලබන 2023 වසරේ මාර්තු මාසයේදී තවත් ඉන්දීය රුපියල් කෝටි 160ක මුදලක් ආයෝජනය කරමින් එම සමාගමේ තවත් කොටස් මිලදී ගැනිමටද රිලයන්ස් ස්ට්‍රැටජික් බිස්නස් වෙන්චර්ස් සමාගම සැලසුම් කර තිබේ.

ඒ අනුව මෙම ගනුදෙනුව හරහා සමාගම මගින් අත්පත් කරගන්නා Strand Life Science සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය 80.3%ක් වන බවත් පැවසෙයි.

2000 වසරේ ඔක්තෝබර් මාසයේදී පිහිටවුණු Strand Life Science සමාගම ජෛවතොරතුරුවිද්‍යා මෘදුකාංග සහ සායනිකමය විසඳුම් හරහා ජානමය පරීක්ෂණ සිදුකරන ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් ලෙස හඳුනාගෙන තිබේ.  එලෙස රැස් කරගන්නා තොරතුරු සායනික වෛද්‍යවරුන්, රෝහල්, වෛද්‍ය උපාංග නිෂ්පාදකයන් සහ ඖෂධ නිෂ්පාදන සමාගම් වෙතලබා දීම සිදු කරයි.

2020/21 මූල්‍ය වර්ෂය තුළදී Strand Life Science සමාගමේ පිරිවැටුම ඉන්දීය රුපියල් කෝටි 88.70ක් ලෙස සටහන්ව ඇත. එසේම 2019/20 සහ 2018/19 යන මූල්‍ය වර්ෂ තුළදී පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 109.84ක් සහ 96.60ක් ලෙස පිරිවැටුමක් වාර්තා කර ඇත.

මෙම ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම, “මෙම ආයෝජනය සමූහයේ ඩිජිටල් සෞඛ්‍ය මුලපිරීම් යටතේ සිදු කළ ආයෝජනයක්. ඒ හරහා ඉන්දියාව තුළ ලෝක මට්ටමේ තාක්ෂණික සහ නවෝත්පාදනය මූලික කරගත් සෞඛ්‍ය සේවා පරිසරයක් ඇති කිරීමට දායක වේවි.” යනුවෙන් පවසා ඇත.

Visits: 229