EXPO අගයන් ඉහළ යාම සහ විදේශ විනිමය ගලාඒම් නිසා ASPI අගය 9,000 ඉක්මවයි

අද (සැප්තැම්බර් 01) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුව තුළ යළිත් වරක් ඉහළ ගැණුම්බරතාවක් දක්නට ලැබුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම අද දිනයේදීත් ASPI අගයේ ඉහළයාම සඳහා දායක විය. ඒ අනුව EXPO හි කොටස් වටිනාකම් දිනය තුළදී 7%කින් ඉහළ ගිය අතර, දිනයේ පිරිවැටුම සඳහා එය 32%ක දායකත්වයක් සපයා තිබේ.

මේ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකමද (SDR) ඇතුළුව අනෙකුත් ක්‍රමවේද හරහා රට තුළට විදේශ විනිමය ගලාඒම් පිළිබඳව රජය සිදුකළ අනාවරණයත් සමගින්ම ආයෝජක ආකර්ෂණය ඉහළ යාම මෙලෙස වෙළෙඳ පොළ තුළ ඉහළ මිලදී ගැනීමක් වාර්තා වී ASPI අගය මෙතෙක් වාර්තා කළ වැඩිම  අගයටද පත්විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,997.60ත් ඒකක 9,201.58ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,163.13ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 31) දිනයට සාපේක්ෂව ඒකක 165.53ක් එනම් +1.84%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව ඡන්ද හිමි කොටස්, සම්පත් බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන සමාගම්වල සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 6.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 98ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 97ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+55.9), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+35.47), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+19.5), හේලීස් පීඑල්සී HAYL (+15.6), වැලිබල් වන් පීඑල්සී VONE (+10.2), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-5.7), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-3.5), කොමර්ෂල් බැංකුව COMB (-3.3), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (-2.3), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (-1.6යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,440.50ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 31දා) ‍ට සාපේක්ෂව ඒකක 75.91ක එනම් +2.26%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 14.6ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 31දා) වාර්තා කළ රුපියල් බිලියන 10.86ට සාපේක්ෂව 35% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.08ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 37.92%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 117.80ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 966.69ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 848.89කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 38.81ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 14.55 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 675ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 4,736ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 32%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 3,232ක සහ රුපියල් මිලියන 2,983ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 415