ධම්මිකගේ DP Education අනාගත රැකියා අරමුණු කරගත් ඩිප්ලෝමා ප්‍රදානයකට සැරසෙයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක DP Education අන්තර්ජාල ඉගැනුම් වේදිකාව මගින් ඉදිරියේදී ගණිතය, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි පවසයි.

මොරටුව විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් මෙම පාඨමාලා ක්‍රියාත්මක කෙරෙන අතර වයස අවුරුදු 18ට වැඩි සිසුන් සඳහා නොමිලේම මෙම ඩිප්ලෝමාව හැදැරීමේ අවස්ථාව හිමි වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති DP Education හි ප්‍රකාශකයෙකු පවසා සිටියි.

“මෙම ඩිප්ලෝමාව වයස අවුරුදු 18ට වැඩි සිසුන් 20,000ක් සඳහා වාර්ෂිකව ප්‍රදානය කෙරෙනවා. ඔවුන් සියලු දෙනාම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සූදානම් කිරීම එහි අරමුණයි. මෙම ඩිප්ලෝමාව DP Education වෙතින් දරුවන්ට කිසිදු ගාස්තුවක් අය නොකර නොමිලේම ලබා දෙනවා.” යනුවෙන්ද ප්‍රකාශකයා පවසා තිබේ.

“මෙලෙස අධ්‍යාපනය සඳහා නවෝත්පාදින ක්‍රමවේද හඳුන්වාදීම සහ අන්තර්ජාලය හරහා ඒවෙත යොමුවීමේ අවස්ථාව ලබාදිම හරහා වඩාත් ඉහළ අධ්‍යාපනයක් සහ පුහුණු ශ්‍රමබලකායක් බිහි කරන්න මූලික වෙනවා. විශේෂයෙන්ම ආයෝජකයන් නව වෙළෙඳ පොළ වෙත පිවිසීමේදී සලකා බලන ප්‍රධානම කරුණක් විදියට හොඳ අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලැබූ ශ්‍රම බලකායක් හඳුන්වා දෙන්න පුළුවන්.” එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.    

අද වනවිට DP Education වැඩසටහන යටතේ ක්‍රියාත්මක අන්තර්ජාල අධ්‍යාපනික වේදිකාව වන යූටියුබ් නාලිකා මගින් දරුවන් වෙත නොමිලේම අන්තර්ජාලය හරහා සිය අධ්‍යාපනික වැඩසටහන් වෙත සම්බන්ධවීමේ අවස්ථාව ලබාදී තිබේ.

එහිදී සමස්ත පාසැල් විෂය මාලාවම මෙම ආකාරයෙන් දරුවන් සඳහා ලබා දෙන ලොව පළමු අධ්‍යාපනික වේදිකාව ලෙසින්ද සැලකෙයි. අද වන විට මේ සමගින් සිසු දරුවන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටින බවත් DP Education පවසයි.

ඒ අනුව වසරක් පමණ වන කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ 42ක් පමණ වන සිසු දරුවන්ගෙන් ලක්ෂ 5ක් වෙත මෙම වැඩසටහන් රැගෙන යාමට හැකිවීම කැපී පෙනෙන අවස්ථාවක් බව එම වැඩසටහන සඳහන් කරයි. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදු කරන සිසු දරුවන් වෙත මෙය වඩාත් වැදගත් අවස්ථාවක් බවට පත්ව තිබේ.

අද වනවිට නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි ඇප් වැඩසටහනක් ලෙසද මෙම DP Education ඉදිරිපත්ව ඇති අතර, ගූගල් ප්ලේස්ටොර්, ඇපල් ඇප්ස්ටෝර් සහ හුවාවෙයි ඇප් ගැලරි ඔස්සේ ඒවා ඩවුන්ලෝඩ්කර ගත හැකිය.

Google store – https://play.google.com/store/apps/details , Apple store – https://apps.apple.com/lk/app/dp-education/id1574530050, Huawei App Gallery – https://appgallery.huawei.com/#/app/C104504493

Visits: 328