එක්ස්පෝලංකා ඩොලර් මිලියන 9.7ක‍ට ඇමෙරිකාවේ IDEA Logistics LLC මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන IDEA Logistics LLC සමාගම සහ එම සමූහයට අයත් සමාගම් සියල්ලම මිලදී ගත් බව පවසයි.

පසුගිය අගෝස්තු 10 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගම් දෙකක් වන සිංගප්පූරුවේ පිහිටි EFL Global Logistics (Pte). Ltd සමාගම සහ එක්සත් ජනපදයේ පිහිටි EFL Global LLC සමාගම එක්ව මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම මෙම අත්පත්කරගැනීම පිළිබඳව අනාවරණය කර තිබේ.

සමාගම සඳහන් ආකාරයට මෙම ගනුදෙනුවේදී IDEA Logistics LLC සමාගමේ කොටස් 100%ක්ම අත්පත් කරගැනීමට එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අනුබද්ධිත මෙම සමාගම් පියවර ගෙන ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 9.7ක් (9,700,000) වන බවත් පැවසෙයි.

Interconexion distribuit y enviar para las americas llc යන නමින්ද හැඳින්වෙන මෙම IDEA Logistics LLC සමාගම මධ්‍යම ඇමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස සැලකෙයි. එහි මූලස්ථානය එක්සත් ජනපදයේ පිහිටා ඇත. සමාගම මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගිකයන් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, ගබඩා පහසුකම් මෙන්ම ට්‍රක් රථ සේවාවද සපයයි.

මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම එය සිය මෙහෙයුම් මධ්‍යම ඇමෙරිකානු කලාපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා වන ක්‍රමෝපියාකව වැදගත් අවස්ථාවක් ලෙස සලකන බව පවසා සිටියි.

විශේෂයෙන්ම මෙම කලාපය නැගී එමින් පවතින ඉතාමත් වේගයෙන් දියුණු වන ඇගලුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවත්, එක්සත් ජනපද පාරිභෝගිකයන් වෙත මෙම සමාගමේ සේවාවන් ඉතාමත් සමීප බවත්  එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 952