චීනය තුළ අන්තර්ජාල පරිශීලකයන් බිලියනය ඉක්මවයි

චීනය තුළ අන්තර්ජාලය භාවිත කරන පිරිස පසුගිය ජූනි මාසය අවසන් වනවිට බිලියනය ඉක්මවා ඇතැයි වාර්තා වෙයි. අද වනවිට චීනයේ සමස්ත ජනගහනය බිලියන 1.4කි.

අද දිනයේදී නිකුත් වුණු චීනයේ අන්තර්ජාල සංවර්ධනය පිළිබඳ 48 වැනි සංඛ්‍යාලේඛන දත්ත වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. China Internet Network Information Center (CNNIC) මගින් මෙම වාර්තාව සකස් කරයි. ඒ අනුව ජූනි මාසය අවසන් වනවිට චීනයේ සමස්ත අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 1.011ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව එරට සමස්ත ජනගහනයෙන් අද වනවිට 71.6%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් පවතින බව සඳහන්ව තිබේ.

මෙලෙස චීනය තුළ අන්තර්ජාලය සඳහා වන පහසුකම් ඉහළ යාම ලෝකයේ දැවැන්තම ඩිජිටල් සමාජය බවට පත්වීමට චීනයට අවස්ථාව උදාකර තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය වසර අවසන් වනවිට චීනයේ සමස්ත අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 989ක් බවට පත්ව තිබුණි. විශේෂයෙන්ම රට තුළ කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමගින්ම මිලියන 80කට අධික පිරිසක් අන්තර්ජාලය වෙත යොමු වීමක් සිදු වුණු බවද සමීක්ෂණ වාර්තා පවසයි. ලොව දෙවැනියට වැඩිම අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් සිටින රට වන්නේ ඉන්දියාවයි. පසුගිය වසර අවසන් විට ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන්සංඛ්‍යාව මිලියන 639ක් බවට පත්ව තිබුණි.

Views: 82