ජූලි මාසයේදී උද්ධමනය 6.8ක් දක්වා ඉහළට

2021 ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.8%ක් ලෙස සටහන්ව ඇතැයි මහ බැංකුව පවසයි. එය ජූනි මාසයේදී උද්ධමනය වූ 6.1% හා සැසඳීමේදී 0.7%ක ඉහළ යාමකි. විශේෂයෙන්ම ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අනුව මහ බැංකුව මේ බව සඳහන් කරයි.

ඒ අනුව 2021 ජූලි මාසයේදී ආහාර කාණ්ඩයෙහි ප්‍රධාන වශයෙන් සීනි, එළවළු, කරවල සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය අතර, පොල් සහ පොල්තෙල් මිල ගණන්හි පහළ යෑමක් වාර්තා වී තිබේ.

එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්මය උද්ධමනය 2021 ජූලි මාසයේදී පැවැති 9.8%හි සිට 2021 ජුලි මාසයේදී 11.0%ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ප්‍රධාන වශයෙන් වාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිලගණන්හි සිදු වූ ඉහළ යෑම් හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් වාර්තාවී තිබේ.

එහිදී ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික උද්ධමනය 2021 ජූනි මාසයේදී පැවැති 2.9% සිට 2021 ජූලි මාසයේදී 3.2%ක් දක්වා ඉහළ යාමක් සිදුව තිබේ.

Visits: 89