EXPO දිනයේ පිරිවැටුමෙන් 37%කට දායකත්වය දෙයි

අද (අගෝස්තු 23) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව ඉතාමත් ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් සඳහා වන ආකර්ෂණය ඉහළ ගිය අතර දිනය තුළදී එහි කොටසක වටිනාකම් 20%කින් ඉහළ යාම සිදු විය.

එසේම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා ඒකක 98කින් දායක වී තිබේ. එසේම දිනයේ සමස්ත පිරිවැටුමෙන් 37%ක් සඳහාද එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් දායකත්වය ලබා දී ඇත.

මෙම තත්ත්වයත් සමගින්ම වෙළෙඳ පොළ පිරිවැටුම, ගනුදෙනු සහ සමස්ත කොටස් මිල දර්ශකය මේ වසරේ ජනවාරි මාසය අග සීමාවේ පැවැති මට්ටමට ඉහළ නැගීමක් සිදුව ඇතැයිද කොටස් තැරැව්කාර සමාගම් පෙන්වා දෙයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,239.88ත් ඒකක 8,509.13ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,479.65ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (අගෝස්තු 20) දිනයට සාපේක්ෂව ඒකක 239.59ක් එනම් +2.91%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සණස සංවර්ධන බැංකුව තුළ සිදු වුණු ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 1.9%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 68ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 76ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+97.72), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+38.7), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+34.7), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+16.1), වැලිබල් වන් පීඑල්සී VONE (+11.8), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-8.21), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-5.3), හේලීස් පීඑල්සී HAYL (-2.4), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.8), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.8යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,148.16ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (අගෝස්තු 20දා) ‍ට සාපේක්ෂව ඒකක 96.52ක එනම් +3.16%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.8ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (අගෝස්තු 20දා) වාර්තා කළ රුපියල් බිලියන 5.61ට සාපේක්ෂව 92.7% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.77ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 27.49%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 139.86ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 154.51ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 14.65කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.25ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 16.61 කි. එසේම එල්ඕඑල්සී හොල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 27.39ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 4,079ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 38%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,650ක සහ රුපියල් මිලියන 1,351ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 217