2020 වර්ෂයේදී SME ව්‍යාපාර සඳහා විශාලතම ණය දෙන්නා බවට කොමර්ෂල් බැංකුව පත් වෙයි

කොමර්ෂල් බැංකුව 2020 වසරේ දී මෙරට සියලූම රාජ්‍ය, පෞද්ගලික සහ විශේෂිත බැංකු අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශාලතම ණය දෙන්නා බවට පත් වූ බව මුදල් අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි පවසයි. සමස්ථ ණය වටිනාකම සහ ණය සංඛ්‍යාව ගත් කළ ද එය රටේ මුළු ණයවලින් පහෙන් එකකට වඩා වැඩි අගයක් නියෝජනය කිරීමකි.

2020 සඳහා වූ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව, වසංගතයෙන් බලපෑමට ලක් වූ වර්ෂය තුළ මූල්‍ය ආයතන 19ක් විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දුන් රුපියල් බිලියන 759.7ක ණය අතුරින් 21.57%ක් හෙවත් රුපියල් බිලියන 163.98ක ණය කොමර්ෂල් බැංකුව ලබා දී ඇති අතර බැංකුව මඟින් ලබා දුන් 58,584ක් වූ ණය සංඛ්‍යාව ලබා දී ඇති සමස්ථ ණය සංඛ්‍යාව වන 245,883න් 23.82%ක් නියෝජනය කරයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කොමර්ෂල් බැංකුව ලබා දුන් ණයවල වටිනාකම ඊළඟ ණය දෙන්නා ලබා දුන් ණයවල වටිනාකමට වඩා රුපියල් බිලියන 21.6කින් හෙවත් 15%කින් වැඩි වන බව අමාත්‍යාංශ ප‍්‍රකාශිත දත්ත හෙළි කරයි.

ණය 9,654ක් තුළින් රුපියල් බිලියන 45.9ක් හෙවත් මුළු වටිනාකමින් 21.3%ක් ලබා දීමෙන් කර්මාන්ත අංශයට වැඩිම ණය ලබා දුන් මූල්‍ය ආයතනය බවට ද කොමර්ෂල් බැංකුව පත් විය.

මේ පිළිබඳව අදහස් දැක් වු කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා පැවසුවේ “අපේ මෙහෙවර සහ ජාතික ආර්ථිකය සඳහා වූ අපගේ කැපවීම පිළිබඳව මීට වඩා හොඳ නිදර්ශනයක් නොතිබිය හැකි” බවයි.

“ශ‍්‍රී ලංකාවේ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් ලෙස අප දරණ තත්ත්වය ද මෙම දත්ත නැවත තහවුරු කරනවා. මෑතකදී එක්සත් රාජධානියේ සීඞීසී සමූහයෙන් බැංකුව ලබා ගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ණය සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යකවසායකයන්ට සහයෝගය දැක්වීමේ අපගේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වනවා,” යැයි ඒ මහතා තවදුරටත් පැවසීය.

2020 වර්ෂයේ දී කෝවිඞ් වසංගතයේ පළමු රැල්ල අතරතුර රජයේ උත්තේජක පැකේජය යටතේ, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය සහන සැලසීමේ ප‍්‍රමුඛයා බවට පත් වුයේ කොමර්ෂල් බැංකුව බව ඔහු පෙන්වා දුන්නේය.

“රට මුළුමනින්ම අගුලූ දමා තිබූ හෙයින් රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වන්නේ කවදාදැයි නිශ්චිතව කිව නොහැකි වාතාවරණයක් තුල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට මූල්‍ය ආධාර සැපයීමේ නැඹුරුව නිර්මාණය කිරීමට මෙය සුවිශේෂී දායකත්වයක් වුණා,” යනුවෙන් ද කළමණාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

Visits: 90