නෝර්වේහි ස්වෛරීත්ව ධන අරමුදල මේ වසරේ පළමු අර්ධයේදී ඩො. බිලියන 110ක ප්‍රතිලාභයක් උපයයි

එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.4ක වත්කමක් සහිත ලොව විශාලතම ස්වෛරීත්ව ධන අරමුදල (sovereign wealth fund) වන නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝහි අගනුවර පිහිටි රජයේ විශ්‍රාම වැටුප් අරමුදල (Government Pension Fund) සිය ආයෝජන මගින් මේ වසරේ පළමු අර්ධයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 110ක ප්‍රතිලාභයක් හිමිකර ගැනීමට සමත්ව ඇතැයි වාර්තා පවසයි.

එම අරමුදල මගින් ලොව පුරා සිදු කර ඇති ආයෝජන හරහා මෙම කාලසීමාවේදී 9.4%ක ප්‍රතිලාභයක් හිමි කරගැනීම මෙම ආදායම් වර්ධනය සඳහා හේතුව වී තිබේ. අද වනවිට බලශක්ති, මූල්‍ය සහ තාක්ෂණික සමාගම් තුළ මෙම අරමුදල මුදල් ආයෝජනය කර ඇති අතර, මේ වසරේ පළමු අර්ධයේදී අදාළ සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යාම මෙලෙස එම අරමුදලේ ආදායම් වර්ධනය සඳහා හේතුව වී තිබේ.

එම අරමුදල පවසන ආකාරයට 2021 ජනවාරි සිට ජූනි දක්වා වූ මෙම වසරේ පළමු අර්ධයේදී, ආයෝජනය කර ඇති සමාගම් කොටස්හිදී 14%ක ප්‍රතිලාභයක්ද, බලශක්ති තුළ ආයෝජනයේදී ආසන්න වශයෙන් 20%ක ප්‍රතිලාභයක්ද හිමිව තිබේ.

එහෙත් මෙම කාලසීමාවේදී බැඳුම්කර සහ පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම් සඳහා සිදුකළ ආයෝජන වල ප්‍රතිලාභ පිළීවෙලින් -2.0%ක සහ -1.9%ක අඩුවීමක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් දේපළ වෙළෙඳාම් සමාගම් තුළ සිදු කළ ආයෝජන හරහා 4.6%ක ප්‍රතිලාභ එම අරමුදල වෙත හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින මෙම ස්වෛරීත්ව ධන අරමුදල පවත්වාගෙන යන Norges Bank Investment Management හි ප්‍රධාන විධායක නිලධාරී නිකොලායි ටන්ගෙන්, “මේ වසරේ පළමු අර්ධයේදී  වඩා වැඩි ප්‍රතිලාභයක් අත්කරදීම සඳහා සමාගම් කොටස් තුළ සිදු කළ ආයෝජනයන් හේතු වී තිබෙනවා. එසේම බලශක්ති සහ මූල්‍ය අංශයේ අයෝජනත් විශේෂයෙන්ම කැපි පෙනෙනවා. ඒ අතරින් බලශක්ති සමාගම් වෙත සිදුකළ ආයෝජන හරහා 19.5% ක ප්‍රතිලාභයක් අරමුදල වෙත හිමිව තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මේ අතර සෞඛ්‍ය සහ තාක්ෂණික අංශය සඳහා සිදු කළ ආයෝජන තුළද යම් ශක්තිමත් ප්‍රතිලාභ හිමිවීමක් පෙන්නුම් කර ඇති අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඊට හේතුවවී ඇතැයි අරමුදල පවසයි.

නෝර්වේ රාජ්‍යයේ බොරතෙල් අංශය තුළ ලැබුණු ආදායම් මගින් 1990 දශකයේදී මෙම අරමුදල පිහිටුවා තිබේ. බොරතෙල් ආදායම් ඉහළ පහළ යාම මගින් නෝර්වේහි ආර්ථිකය වෙත ඇති විය හැකි බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා මෙය පිහිටුවීම සිදුවිය. ඒ අනුව මෙය බොරතෙල් අරමුදල ලෙසින්ද එකල හැඳින්වුණි. රටින් පිටත පිහිටි සමාගම් කොටස් ඇතුළු ආයෝජන අවස්ථාවන් තුළ ආයෝජන සිදු කිරීම මෙහි අරමුණ විය.

ඒ අනුව මේ වනවිට ලොව පුරා රටවල් 73ක් තුළ මෙම අරමුදල සිය ආයෝජන සිදු කර ඇත.  2021 ජූනි 30 වැනිදා වන විට එහි වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.3ක් (නෝර්වීජියානු ක්‍රෝන බිලියන 11,673ක් බවට පත්ව තිබේ.

මෙහිදී එම අරමුදලින් 72.4%ක ප්‍රතිශතයක් ලොව රටවල් 69ක් පුරා පිහිටි සමාගම් 9,123ක කොටස් තුළද, 25.1% ක ප්‍රතිශතයක් ලොව රටවල් 45ක බැඳුම්කර 1,245ක ඇතුළු ස්ථාවර ආදායම් තුළද, 2.4%ක ප්‍රතිශතයක් රටවල් 14ක පිහිටි ලැයිස්තුගත නොවූ දේපළ වෙළෙඳ වත්කම් 867ක් තුළද, 0.1%ක ප්‍රතිශතයක් ලැයිස්තුගත නොවූ පුනර්ජනනීය බලශක්ති අංශය තුළද ආයෝජනය කර තිබේ.

මෙම නෝර්වීජියානු ස්වෛරීත්ව ධන අරමුදල හෙවත් නෝර්වීජියානු රජයේ විශ්‍රාම වැටුප් අරමුදල ගෙවුණු කාලසීමාවේදී ශ්‍රී ලංකාවේද සමාගම් රැසකම සිය ආයෝජන සිදු කර තිබේ. ඒ අතරින් බහුතරය ලැයිස්තුගත සමාගම්වීමත් කැපී පෙනෙයි. පසුගිය 2020 වසරේදී එම අරමුදල ශ්‍රී ලංකාව තුළ එක් ආයෝජනයක් සිදු කර ඇති අතර, ඒ යටතේ කාර්ගිල්ස් සිලෝන් (පීඑල්සී) සමාගම වෙත එක්සත් ජනපද ඩොලර් 5,843,173ක් ආයෝජනය කර ඇත.

මීට අමතරව සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, කොමර්ෂල් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, ඩයලොග් ආසිආටා පීඑල්සී, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී, ලයන් බෘවරි සිලෝන් පීඑල්සී, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී, නෙස්ලේ ලංකා පීඑල්සී, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී පීඑල්සී, සම්පත් බැංකුව, ටීජේලංකා පීඑල්සී සහ යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී යනාදිය ඇතුළුව තවත් සමාගම් රැසක් තුළ අවස්ථා රැසකදීම ආයෝජන සිදු කර තිබේ.

Visits: 503