කොමර්ෂල් බැංකු සමූහය තෙවැනි වරටත් ශේෂ පත්‍රයේ ට්‍රිලියනයේ සීමාව පසු කරයි

කොමර්ෂල් බැංකු සමූහය 2021 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ප‍්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර දෙවන කාර්තුව තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පුද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුවහන් කර ඇතැයි පවසයි.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය මෙම කාල සීමාව තුළදී රුපියල් බිලියන 79.931 ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර එය 2020 වසරේ පළමු අර්ධය සමග සැසඳීමේදී 6.34% ක වර්ධනයකි. එසේම, මෙය 2021 දෙවන කාර්තුව සඳහා ද 11.23% ක වර්ධනයක් වේ.

බැංකු සමූහය විසින් 2021 පළමු කාර්තුවේදී ලබාගත් සෘණ 2% ක පොලී ආදායම් වර්ධනය දෙවන කාර්තුව වනවිට 9% ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර 2021 පළමු අර්ධය අවසානයේදී රුපියල් බිලියන 63.355 ක පොලී ආදායමක් ලබාගෙන තිබෙන්නේ පෙර වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 3.22% ක වර්ධනයක් පෙන්වමිනි. සලකා බලන කාලය තුළදී සමූහයේ පොලී වියදම 16.65% කින් රුපියල් බිලියන 32.197 ක් දක්වා අඩුවී තිබෙන අතර සලකා බලන කාල සීමාව තුළදී සමූහය විසින් රුපියල් බිලියන 31.158 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කරගෙන තිබේ. එය මාස හය සහ දෙවන කාර්තුව සඳහා පිළිවෙලින් 36.86% ක සහ 57.06% ක වර්ධනයකි.

‘ණය ලබාදීම වර්ධනය, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම වර්ධනය සහ අනිකුත් ආදායම් සමන්විත කොටස් වලින් සමහරක කැපී පෙනෙන වර්ධනය නිසා අප ලද ඉහළ මෙහෙයුම් ආදායම් වල වාසිය සලකා බලන මාස හයක කාලයේදී හානි පූර්ණ ගාස්තු වල වර්ධනය නිසා අඩු වුවත් සමස්ත මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අපි සතුටට පත් වෙනවා. පළමු කාර්තුවේ සිට බොහෝ ප‍්‍රධාන අනුපාතයන් සහ ප‍්‍රධාන කාර්යසාධන දර්ශකයන් අපට දියුණු කරගැනීමට හැකි වීම එයට හේතුවයි,’ යනුවෙන් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා පැවසීය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසුවේ බැංකුවේ තැන්පතු වලට සාපේක්ෂව ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ තැන්පතු අනුපාතය (CASA ratio) 2020 අවසානයේ තිබූ 42.72% ක සහ 2020 ජුනි තිබූ 40.79% මට්ටමේ සිට 45.37% ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

‘ගෝලීය වසංගත තත්ත්වය නිසා ඇතිවී තිබෙන අභියෝග හමුවේ වුවද ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්ව අනුපාතයන්, අක‍්‍රීය ණය අනුපාතයන්, සහ පොලී අන්තරයන් ධනාත්මක ලෙස දියුණු කර ගැනීමට අපි සමත්වී තිබෙනවා. කොවිඞ්-19 වසංගතය නිසා ව්‍යාපාර සහ ප‍්‍රජාවන්ට ඇතිවී තිබෙන අයහපත් බලපෑම සමනය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කරගැනීම සඳහා වූ රජයේ වැඩසටහන් සඳහා අපි සම්පූර්ණ සහයෝගය ලබාදී තිබෙනවා. ණය ගැනුම්කරුවන්ට සහන ලබාදීම සහ බැංකුවේ සහන ණය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අමතරව ‘සෞභාග්‍යා’ ණය වැඩසටහනට සම්බන්ධවීම මෙයට ඇතුළත් වනවා,’ යැයි ඔහු ප‍්‍රකාශ කළේය. ‘අහිතකර වාතාවරණයකදී වුවත් ඉතාමත් සමබර වර්ධනයක් ලබාගැනීමේ හැකියාව අප සතුයැයි අප විශ්වාස කරන අතර එය ඉදිරි වසර වලදී වඩාත් වැදගත් වනු ඇත.’

‘අපගේ ණය පොත රුපියල් ටි‍්‍රලියන 01 ක සීමාව පසුකිරීම මගින් අපි තව තවත් දිරිමත් වූ අතර ප‍්‍රධාන ශේෂ පත‍්‍ර දර්ශකයන් 3ක් රුපියල් ටි‍්‍රලියනයේ සීමාව පසුකළ ශ‍්‍රී ලංකාවේ පළමු පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙනවා. අපගේ වත්කම් 2016 වසරේදී මෙම සීමාව පසුකළ අතර 2019 වසරේදී තැන්පතු ප‍්‍රමාණය මෙම සීමාව පසුකිරීමට සමත් වුණා,’ යනුවෙන් රෙන්ගනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.

සලකා බලන මාස හයක කාලය තුළදී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම 30.78% කින් වර්ධනය වී රුපියල් බිලියන 46.344 ක්වූ අතර හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ සඳහා වෙන්කළ ප‍්‍රතිපාදන රුපියල් බිලියන 13.654 ක් දක්වා 47.44% කින් ඉහළ නැග ඇත. කර්මාන්තය තුළ පවතින අවධානම ඉහළ නැගීම වෙනුවන් කළමනාකාරීත්වය ගත් විචක්ෂණශීලී තීරණ හා තීන්දු මෙයට හේතුවී තිබේ.

මේ හේතුවෙන් සලකා බලන කාලයේදී සමූහයේ මෙහෙයුම් ආදායම 24.88% කින් රුපියල් බිලියන 32.690 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙහෙයුම් වියදම් 8.42% කින් වර්ධනය වී රුපියල් බිලියන 14.079 ක්වී ඇත. මේ නිසා, සලකා බලන මාස හයක කාලය තුළදී කොමර්ෂල් බැංකු සමූහයේ මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු වලට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 18.611 ක්වී තිබේ. මෙය පෙර වසරේ මුල් මාස හයට සාපේක්ෂව 41.09% ක ශක්තිමත් වර්ධනයකි. සලකා බලන කාල සීමාව තුළ මූල්‍ය සේවා මත අයකළ අගය එකතු කිරීමේ බදු ප‍්‍රමාණය 37.82% කින් රුපියල් බිලියන 2.857 ක් දක්වා වර්ධනය වූ අතර ආදායම් බදු වලට පෙර බැංකු සමූහය රුපියල් බිලියන 15.754 ක ලාභයක් 2021 මුල් අර්ධය තුළදී වාර්තා කිරීමට සමත්ව තිබේ. එය 2020 මුල් මාස හයට සාපේක්ෂව 41.71% ක වර්ධනයකි.

සලකා බලන කාල සීමාව තුළදී 2020 ආදායම් බදු සම්බන්ධ ප‍්‍රතිපාදනයන් වෙනස් කිරීම නිසා ආදායම් බදු 7.33% කින් අඩුවී රුපියල් බිලියන 3.400 ක්වී තිබේ.

මේ හේතුවෙන් 2021 මුල් මාස හය තුළදී කොමර්ෂල් බැංකු සමූහය බදු වලට පසු රුපියල් බිලියන 12.354 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය 65.87% ක වර්ධනයක් වන අතර දෙවන කාර්තුවේ පමණක් 52.93% ක වර්ධනයක් ලබාගැනීමට සමත්ව ඇත. වෙනම ගත්විට මෙම කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකුව බදු වලට පෙර රුපියල් බිලියන 15.420 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 47.61% ක වර්ධනයකි. 2021 මුල් මාස හය තුළදී කොමර්ෂල් බැංකුව බදු වලට පසුව රුපියල් බිලියන 12.134 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 74.31% ක කැපී පෙනෙන වර්ධනයක් වේ.

මෙම කාල සීමාව තුළ බැංකු සමූහයේ සමස්ත වත්කම් 2021 ජුනි 30 වනදා වනවිට රුපියල් බිලියන 172 කින් හෙවත් 9.77% කින් රුපියල් ටි‍්‍රලියන 1.935 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, ගෙවීගිය මාස 12 තුළ බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 368 කින් හෙවත් 23.49% කින් වර්ධනය වී ඇත.

සලකා බලන මාස හයක කාල සීමාව තුළදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 72.164 කින් හෙවත් 7.50% කින් රුපියල් ටි‍්‍රලියන 1.034 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මාස හය තුළදී එක් මාසයකට රුපියල් බිලියන 12 ක් බැගින් වූ සාමාන්‍ය වර්ධනයක් ලබාගෙන තිබේ. මේ අතර, ගෙවීගිය මාස 12 සඳහා ණය පොත 9.82% ක වර්ධනයක් ලබාගෙන ඇත.

2021 මුල් මාස හය තුළදී බැංකු සමූහයේ සමස්ත තැන්පතු රුපියල් බිලියන 118 කින් හෙවත් 9.20% කින් විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 19.7 ක තැන්පතු වර්ධනයක් වේ. මේ අනුව, 2021 ජුනි 30 වනදා වනවිට බැංකු සමූහය තුළ තිබෙන තැන්පතු ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.405 ක් වේ. පෙර මාස 12 තුල තැන්පතු රුපියල් බිලියන 250 කින් හෙවත් 21.63% කින් වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් රුපියල් බිලියන 20.8 ක මාසික තැන්පතු වර්ධනයක් වේ.

Visits: 123