දිනය ආරම්භයේදී ඇති වූ තාක්ෂණික ගැටලුව ගනුදෙනු අඩපණ කරවයි

අද (අගෝස්තු 16) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත අලුතින් හඳුන්වාදුන් DvP ක්‍රමවේදය හේතුවෙන් ඇති වූ තාක්ෂණික ගැටලුව නිසා ගනුදෙනු ආරම්භයට පැයකුත් විනාඩි 15කට අධික කාලයක් ගතවීමත් සමගින්ම වෙළෙඳ පොළ තුළ ඉහළ චංචලබවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම COVID-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආයෝජකයන්ගේ උනන්දුව යම් තරමකට අඩුවූ අතර ඒ හේතුවෙන් ආයෝජක සහභාගිත්වය දිනය තුළ කැපී පෙනෙන ලෙස පහත වැටුණු බවද එම සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,928.38ත් ඒකක 8,018.46ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,937.28ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (අගෝස්තු 13) දිනයට සාපේක්ෂව ඒකක 58.76ක් එනම් -0.73%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු කළ කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී ගනුදෙනුවක් දිනයේ පිරිවැටුම සඳහා 4%ක දායකත්වයක් ලබා දුනි.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 28ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 21ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+4.35), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+1.76), හැටන් නැෂනල් බැංකුව HNB (+1.18), අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී AGAL (+0.81), ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී ELPL (+0.62), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.71), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-2.14), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.84), සම්පත් බැංකුව පීඑල්සී SAMP (-1.29), හේලීස් පීඑල්සී HAYL (-1.01) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,977.31ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (අගෝස්තු 13දා) ‍ට සාපේක්ෂව ඒකක 13.6 ක එනම් -0.45%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 834.4ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (අගෝස්තු 13දා) වාර්තා කළ රුපියල් බිලියන 2.32ට සාපේක්ෂව 64% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.53ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.26%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 18.34ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 19.31ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 0.97කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.88ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.85 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 12.17ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 171ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 20%කි. එසේම දුරකතන සන්නිවේදන සේවා සහ සෞඛ්‍ය ආරක්ෂණ උපාංග සහ සේවා අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 121 ක සහ රුපියල් මිලියන 111ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 222