ඩෙල්ටා ව්‍යාප්තියත් සමග ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළට

ලොව පුරා රටවල් රැසකදීම ව්‍යාප්තව පවතින COVID-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ අවධානම හේතුවෙන් පිට පිට දෙවැනි දිනටත් ඊයේ දිනයේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ වැටී ඇතැයි වාර්තාවෙයි.

ඒ අනුව අද අලුයම වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.59ක් දක්වා -1.01% අඩු වී ඇති අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.44ත් දක්වා -0.94%කින් පහත වැටී තිබෙන බව Oilprice.com වෙබ් අඩවිය පවසයි.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි සටන සඳහා ආසියාව තුළ අලුතින් සංචරණ සීමා පැනවීමක් සම්බන්ධ අවධානයක් යොමුවීමත් සමගින්ම 2021 වසරේ දෙවැනි අර්ධයේදී යළිත් වටයකට ගෝලීය බොරතෙල් ඉල්ලුමේ වර්ධනය පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළ අනතුරු ඇඟවීම මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහත වැටීමට පළමු හේතුව වී තිබේ.

එසේම චීනය සිය නින්ග්බෝ-සොයුෂාන් වරායේ ප්‍රධානතම පර්යන්තයක් වසා දැමීමට සිකුරාදා තීරණය කිරීමත් සමගින්ම ගෝලීය නෞකා සහ සැපයුම් දාම වෙත එල්ලවිය හැකි බලපෑම පිළිබඳව සලකමින් තවදුරටත් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ වැටීම සිදුව තිබේ.

චීනයේ මෙම වරාය ලෝකයේ තෙවැනියට වැඩිම කාර්යබහුලත්වයක් පවතින වරාය ලෙසින්ද හඳුනාගෙන ඇත. එහි එක් සේවකයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගැනීමත් සමගින්ම එම පර්යන්තය වසා දැමීමට තීරණය කෙරිණි.

කෙසේ වෙතත් තවදුරටත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70ක මට්ටමක පැවතීම සැලකිය යුතු අවස්ථාවක් බවද බොරතෙල් වෙළෙඳ පොළ පිළිබඳ විශ්ලේශකයෝ පවසති. පසුගිය වසරේදී කොරෝනා වෛරසය දරුණු ලෙස ලොව පුරා ව්‍යාප්තවූ අවස්ථාවේදී ගෝලීය බොරතෙල් ඉල්ලුමේ සිදු වූ කඩා වැටීමත් සමගින්ම බොරතෙල් බැරලයක මිල ඩොලර් බින්දුවටත් වඩා අඩු විය.

Visits: 334