Jetwing Symphony PLC වෙත අයත් Cultural Heritage හි දරුණු ප්‍රාග්ධන අහිමිවීමක්

ජෙට්වින්ග් සමූහයට අයත් අයත් ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් වන කල්චරල් හෙරිටේජ් පෞද්ගලික සමාගම තුළ දරුණු ප්‍රාග්ධන අහිමිවීමක් සිදුව ඇතැයි පවසයි.

ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව වෙත ඊයේ අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම තත්ත්වය නිරාකරණය සඳහා ගත හැකි සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යක්ෂ මණ්ඩලය පවසා සිටියි.

මෙම කල්චරල් හෙරිටේජ් පෞද්ගලික සමාගම ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී සමාගමෙහි 100%ක හිමිකාරීත්වය පවතින පරිපාලිත සමාගමකි. දඹුල්ල ප්‍රදේශයේ, සියඹලාන්ඩුව ගම්මානයේ පිහිටි ජෙට්වින්ග් ලේක් හෝටලය මෙම සමාගම යටතේ පාලනය වෙයි. මෙය ඉතාමත් මෑතකදී මෙහෙයුම් සඳහා විවෘත කෙරුණකි.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සහ ඊට පසුව ඇතිවූ කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය වෙත එල්ල වූ බලපෑම මෙලෙස එම කල්චරල් හෙරිටේජ් පෞද්ගලික සමාගමෙහි ප්‍රාග්ධනය අහිමිවීමට මූලිකවම හේතු වී තිබෙන බව සඳහන් වෙයි.

2014 වසරේ අප්‍රේල්මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව මෙම හෝටලය ඉදිකිරිම සඳහා කටයුතු අරඹා ඇත. මෙම එකඟතාවයට අනුව 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ විධිවාධින යටතේ අදාළ හෝටලයට වසර 10ක බදු විරාමයක්ද හිමිව තිබේ. ඒ අනුව අදාළ එකඟතාව යටතේ වසර 2027/28 මූල්‍ය වර්ෂය වන තුරුම කල්චරල් හෙරිටේජ් පෞද්ගලික සමාගම වෙත අදාළ බදු විරාමය හිමිවන බවට ඇස්තමේන්තු කර ඇතැයි ජෙට්වින්ග්ස් සිම්ෆනි සමාගම සිය 2019/20 මූල්‍ය වාර්තාවේ සඳහන් කර තිබේ.

මෙම කල්චරල් හෙරිටේජ් පෞද්ගලික සමාගමට අමතරව උප්පුවේලි බීච් පෞද්ගලි සමාගම, යාල සෆාරි බීච් හොටෙල් පෞද්ගලික සමාගම, ජෙට්වින්ග් සිටි පෞද්ගලික සමාගම, උප්පුවේලි විලාස් පෞද්ගලික සමාගම, ද රිවර්බෑන්ක් පෞද්ගලික සමාගම, පොතුවිල් පොයින්ට් පෞද්ගලික සමාගම සහ ජෙට්වින්ග් කදුරුකෙත පෞද්ගලික සමාගම ලෙස ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී සමාගම වෙත අයත් පරිපාලිත සමාගම් පවතී.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජෙට්වින්ග් සිම්ෆනි අධ්‍යක්ෂ මණ්ඩලය මේ මොහොතේදී, සිය සමාගම වෙතින් කල්චරල් හෙරිටේජ් පෞද්ගලික සමාගම වෙත ඉක්මන් ප්‍රාග්ධන සැපයීමක් අවශ්‍යව නොමැති බව පවසා ඇත.

එසේම සමාගම සතු සම්පත් යොදා ගනිමින් ඉදිරි කාලයකට සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට කල්චරල් හෙරිටේජ් පෞද්ගලික සමාගමට හැකියාවක් ඇතැයිද ජෙට්වින්ග් සිම්ෆනි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර සිටියි. 2007 වසරේදී පිහිටවුණු ජෙට්වින්ග් සිම්ෆනි ලිමිටඩ් සමාගම 2017 වසරේ කොළඹ කොටස් හුවාමරුවෙහි සිදුකළ මහජන කොටස් නිකුතුවක් හරහා ලැයිස්තුගත සමාගමක් බවට පත්විය.

Visits: 448