සෙංකඩගල ෆිනෑන්ස් රුපියල් 1.16 ක් බැගින් ලාභාංශ ගෙවීම සැප් 22 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම (SFCL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගිය ජූලි 22 වැනිදා මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ අතර ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.16 බැගින් ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 02 වැනිදා නම් කෙරී තිබේ.

සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් එහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇත. ඒ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 01 වැනිදා පැවැත්වෙන බවත් සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක අගය රුපියල් 90.53ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 102