ලාෆ්ස් ගෑස් මිල ඉහළ යද්දී ලාෆ්ස් ගෑස් පීඑල්සි කොටසක වටිනාකමත් ඉහළට

ලාෆ්ස් ගෑස් සමාගමෙහි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක  මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අවසරය ලබාදී ඇතැයි පවසයි.

වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණූ අනාවරණය කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙතෙක් රුපියල් 1493.00ක්ව පැවැති ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1856.00ක් දක්වා ඉහළ යාම සිදු වෙයි.

ලෝක වෙළෙඳ පොලෙහි ගෑස් මිල සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීම යනකාරණා හේතුවෙන් ලාෆ්ස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවන ලෙස රජයෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටි අතර, රජය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව මෙලෙස මිල ඉහළ නොදැමීම හේතුවෙන් ලාෆ්ස් සමාගම ගෑස් ආනයනයෙන් තාවකාලිකව වැළැකී සිටීමට පියවර ගත් අතර, ඒ සමගම රට තුළ ගෑස් හිඟයක්ද මතු විය. ඒ හරහා ලාෆ්ස් පාරිභෝගිකයන් වන මෙරට සමස්ත ගෘහස්ත ගෑස් පාරිභෝගිකයන්ගෙන් 30%කට බලපෑම් එල්ල විය.

කෙසේ වෙතත් රජය ගෑස් මිල ඉහළ දැමීම සඳහා කටයුතු කරන්නේ නම් යළිත් සුපුරුදු පරිදි සිය මෙහෙයුම් සිදු කරන බව මිට පෙර ලාෆ්ස් සමාගම පවසා තිබුණි. ඒ අනුව ඉදිරියේ රට තුළ යළිත් ලාෆ්ස් ගෑස් වෙළෙඳ පොළට පැමිණෙනු ඇතැයි යන්න අපේක්ෂාව වී තිබේ.

මේ අතර ලාෆ්ස් ගෑස් ගෘහස්ත සිලින්ඩරයක මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමගම කොළඹ කොටස් හුවමාරුවෙහි එම සමාගමේ කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක්ද සිදුව තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී රුපියල් 11.40ක් ලෙස පැවැති ලාෆ්ස් ගෑස් කොටසක වටිනාකම අද දහවල් 12.00 වනවිට රුපියල් 13.90ක් දක්වා  රුපියල් 2.50ක් දක්වා 21.93%කින් ඉහළ යාමක් දැකගත හැකිව තිබේ.

Visits: 286