ජාතික ලොතරැයි මණ්ඩලයට කැරට් 24 රන්කාසි 391ක් මිලදී ගැනීමට ලංසු කැඳවයි

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ලොතරැයි මණ්ඩලය මගින් කැරට් 24 – ග්‍රෑම් 3.11ක බරකින් යුත් රත්රන් කාසි 391ක් මිලදී ගැනීම සඳහා සුදුසුකම් සහිත සමාගම් වෙතින් ලංසු කැඳවීමක් සිදු කර ඇතැයි පවසයි.

එම මණ්ඩලයේ ප්‍රසම්පාදන කමිටු දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා විසින් මේ පිළිබඳව අද දිනයේ පළ වුණු ඩේලි නිවුස් පුවත්පතමෙහි දැන්වීමක් පළ කරමින් මේ සඳහා ආරාධාන කර තිබේ.

මෙහිදී අදාළ ලංසු කැඳවීම ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ සිදුවනු ඇති බවත්, තෝරාගන්නා ආයතන විසින් අදාළ ලංසු කැඳවීම ස්ථිර කර දින හතක් ඇතුළතදී එම රන් කාසි ලබා දීම සිදු කළ යුතුව ඇති බවත් මෙම දැන්වීමේ සඳහන් වෙයි.

මෙම ලංසු කැඳවීම සඳහා සුදුසුකම් සහ හැකියාව සහිත ලංසුකරුවන්ට වැඩිදුර තොරතුරු අංක 32, දේශමාන්‍ය එන්.ඩබ්ලිව්.ජේ. මුදලිගේ මාවතේ පිහිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ පළමු මහලේ පිහිටි ප්‍රසම්පාදන අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) හරහා ලබා ගත හැකිය. දුරකතන අංක 0114607020 හරහා එම කාර්යාලය ඇමතිය හැකිය.

මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කරන ලද ලංසු ලියවිලි 2021 අගෝස්තු 12 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ඕනෑම රාජකාරි දිනක ඉහත සඳහන් කළ ලිපිනයේ සඳහන් ස්ථානය වෙත භාර දිය හැකිය. මෙහිදී ආපසු නොගෙවන රුපියල් 7,000ක මුදලක් අයකරගන්නා බවත්, එම ගෙවීම අදාළ අවස්ථාවේදී මුදල් ලෙස සිදු කළ යුතුව ඇති බවත් සඳහන් වෙයි.

Visits: 155