නයිජීරියාවේ සිදු වුණු තෙල් කාන්දුවකට ෂෙල් සමාගමෙන් ඩොලර් මිලියන 111ක වන්දියක්

අදින් වසර 50කට පමණ පෙරාතුව නයිජීරියාවේ සිදු වුණු බොරතෙල් කාන්දුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලොව මුල් පෙළේ ඉන්ධන සමාගමක් වන ෂෙල් සමාගම එරට ජන කණ්ඩායමක් වෙත ඩොලර් මිලියන 111ක වන්දියක් ගෙවීමට කැමැත්ත පළ කර ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී ඉන් හානි වූ නයිජීරියාවේ එජාමා – එබුදු නම් ජන කොටස වෙත ලබා දීමට නියමිතව ඇත. ඒ අනුව මෙම වන්දි මුදල අදාළ බොරතෙල් කාන්දුව සම්බන්ධයෙන් ලබා දෙන සම්පූර්ණ සහ අවසන් පියවීම බව ෂෙල් සමාගම සඳහන් කරයි.

1967-70 කාලසීමාවේදී මෙම ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ Biafran යුද්ධය අතරවාරයේදී මෙම බොරතෙල් කාන්දුව සිදු විය. ඒ අනුව මෙම හානිය සඳහා වගකිව යුත්තේ තෙවැනි පාර්ශ්වයක් බව ෂෙල් සමාගම මීට පෙර සඳහන් කර තිබුණි.

1991 වසරේදී නයිජීරියානු අධිකරණයක් තුළ මේ පිළිබඳ නඩු විභාගය ආරම්භ විය. 2010 වසරේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දුන් නයිජීරියානු අධිකරණය මෙම හානිය සම්බන්ධයෙන් ෂෙල් සමාගම ඩොලර් මිලියන 41.36ක වන්දියක් ගෙවිය යුතු බව නිර්දේශ කර තිබුණි. එහිදී මෙම තීරණයට එරෙහිව ෂෙල් සමාගම සිදු කළ අභියාචනා සියල්ලම ප්‍රතික්ෆෂ්ප විය.

මේ අතර පසුගිය වසරේදී තීන්දුවක් ලබා දුන් නයිජීරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, මුල් තීන්දුවේදී ලබා දුන් වන්දිය මෙන් දස ගුණයක වන්දියක් ෂෙල් සමාගම මගින් ගෙවිය යුතු බව පවසා තිබුණි. කෙසේ වෙතත් ෂෙල් සමාගම මෙම තීන්දුව ප්‍රතික්ෂේප කර තිබුණි. එසේම තමන්ට මෙම චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නයිජීරියානු අධිකරණය අවස්ථාවක් ලබා නොදුන් බවත් ෂෙල් සමාගම සඳහන් කර තිබුණි.

එහෙත් සමාගම සහ නයිජීරියානු අධීකරණය පැමිණි අවසන් එකඟතාවට අනුව මෙලෙස එම බොරතෙල් කාන්දුවෙන් හානි සිදු වුණු එජාමා – එබුදු ජනතාව වෙත මෙලෙස ඩොලර් මිලියන 111ක වන්දියක් ගෙවීමට කටයුතු සැලසී තිබේ.

Visits: 85