ඉන්දියාවේ ටාටා සමාගම අර්ධ සන්නායක නිෂ්පාදනයට පිවිසිමට යයි

ඉන්දියාවේ සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටාටා සමූහය ඉදිරියේදී අර්ධ සන්නායක නිෂ්පාදනය ඇතුළු නව ව්‍යාපාරික අවස්ථාවන් වෙත යොමුවීමට අදහස් කරගෙන සිටින බව එහි සභාපති එන්. චන්ද්‍රසේකරන් මහතා පසුගියදා අනාවරණය කර තිබේ.

ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධානය කරන ලද එහි වාර්ෂික මහා හමුවේදී ඔහු මෙම අදහස් පළ කර ඇත. ඒ අනුව මේ සඳහා වන වෙළෙඳ පොළ අවස්ථාවන් පිළිබඳව විමසා බලන බව ඔහු මෙහිදී සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ටාටා සමූහයේ සභාපතිවරයා, “ටාටා සමූහය විදියට අපි ඉදිරියේදී නව ව්‍යාපාර රැසක් වෙතම යොමුවීමට බලාපොරොත්තු තබා තිබෙනවා. ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම, 5G තාක්ෂණය සඳහා අවශ්‍ය උපාංග නිපදවීම වගේම අර්ධ සන්නායක නිෂ්පාදනයත් ඒ අතර පවතිනවා.” යනුවෙන් පවසා ඇත.

විශේෂයෙන්ම අද වනවිට ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයන් චීනය මත දැඩිව රඳා පවතින බවත්, වසංගතයෙන් පසු තත්ත්වයේදී මෙම ව්‍යාපාරික අවස්ථාවන් අනෙකුත් රටවල් වෙතද විතැන් වීමේ අවස්ථාවක් දැකගත හැකි වන බවත් ඔහු සඳහන් කර තිබේ.

“මෙම සැපයුම් දාමයන්ගේ ප්‍රතිසමතුලිත අවස්ථාවේදී  ඉන්දියාවට බොහෝ වාසි අත්පත් කරගත හැකියි. එහිදී දේශීය ඉලෙක්ට්‍රොනික කර්මාන්තය දළ දේශීයනිෂ්පාදිතය වෙත ඩොලර් ට්‍රිලියනයක දායකත්වයක් ලබා දීම සිදු වෙනවා වගේම මිලියනයක රැකියාවන් උත්පාදනය කරාවි.” ටාටා සභාපතිවරයා පවසා ඇත.

විශේෂයෙන්ම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන සිය සමාගම මෙලෙස අර්ධසන්නායක නිෂ්පාදනය වෙත යොමුවීමට හේතුව අද වනවිට ලොව පුරා පවතින මෙම අර්ධසන්නායකවල හිඟතාව බවත් ඔහු පවසා ඇත. කෙසේ වෙතත් මෙම අර්ධසන්නායක නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් අවශ්‍ය අතර, ඉන්දියාව තුළ මෙතෙක් එවැනි කර්මාන්තශාලාවක් හිටුවීමේ අවස්ථාවක් හමුවී නැත.

මේ අතර ටාටා මෝටර්ස් සමාගම පසුගියදා සිදු කළ අනාවරණයකට අනුව එහි පරිපාලිත සමාගමක් වන ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි කාර්තුවේදී දැවැන්ත අලාභයක් හිමි කරගනු ඇති බවත්, ඊට ප්‍රධානතම හේතුව එක්සත් රාජධානියේ අර්ධසන්නායක නිෂ්පාදනයේ පහත වැටීම බවත් සඳහන් කර තිබේ.

Visits: 169