ලැයිස්තුගත සමාගම්වල රජය සතු කොටස්හිමිකාරීත්වයේ ප්‍රතිශතය කොපමණද?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් තුළ ශ්‍රී ලංකා රජය සතු කොටස්හිමිකාරීත්වයේ ප්‍රතිශතය සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන ඒමට රාජ්‍ය මූල්‍ය පිළිබඳව අධ්‍යයන කටයුතු සිදු කරන බුද්ධි මණ්ඩලයක් වන Public Finance.lk පසුගියදා කටයුතු යොදා තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති ආසන්නතම වාර්ෂික වාර්තාවට අනුව, අද වනවිට මහා භාණ්ඩාගාරය සතුව සමාගම් 91ක කොටස් හිමිකාරීත්වයක් පවතින බවත්, ඒ අතරින් සමාගම් 24ක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වී තිබෙන බවත් අනාවරණය වී තිබේ.

මෙහිදී 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට මෙකී සමාගම් තුළ රජය විසින් සිදු කර ඇති ආයෝජනයන්හි වටිනාකම සහ රජය හිමි කරගෙන ඇති එම සමාගම්වල කොටස් හිමිකාරීත්වය පිළිබඳව තොරතුරුචිත්‍රක (ඉන්ෆෝග්‍රැෆික්) සටහනක් ඉදිරිපත් කිරීමටද PublicFinance.lk  කටයුතු යොදා තිබේ.

ඒ අනුව රජය විසින් මහාභාණ්ඩාගාරය හරහා ලැයිස්තුගත සමාගම් තුළ හිමිකරගෙන ඇති වැඩිම කොටස් හිමිකාරීත්වය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තුළ ඇති 49.50%ක කොටස් ප්‍රතිශතයයි. 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට එම ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 8.9 කි.

එසේම ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් අතරින් 21.43%ක් රජයට අයත් අතර එම ආයෝජනය රුපියල් මිලියන 78 කි. නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී තුළ 15.85%ක කොටස් හිමිකාරීත්වයක් රජයට අයත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 38 කි. ලංකා සිමෙන්ට් ලිමිටඩ් සමාගමේ රජය සතු කොටස් ප්‍රතිශතය 13%ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 22.5කි.

එසේම කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ 7.58%ක කොටස් ප්‍රතිශතයක් රජයට අයත් අතර, එහි වටිනාකම රුපියල් මිලියන 57 කි. ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමේ 5% ක ප්‍රතිශතයක් රජයට අයත් අතර එහි වටිනාකම රුපියල් මිලියනයකට වඩා අඩුය.

මඩුල්සිම ප්ලාන්ටේෂ්න්ස් පීඑල්සී සහ බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී යන සමාගම් තුළ පිළිවෙලින් 2.25%ක සහ 0.54%ක කොටස් ප්‍රතිශතයක් රජයට අයත් අතර, ඉන් මඩුල්සිම ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සඳහා සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 38 කි.

මීට අමතරව තවත් සමාගම් 16ක කොටස් හිමිකාරීත්වය අතරින් 0.5%ක් හිමි කරගැනීමටද රජය කටයුතු යොදා ඇත. එහිදී වැඩිවශයෙන්ම වැවිලි සමාගම් සඳහා රජයේ ආයෝජන සිදුව තිබේ.

ඒ අනුව NDB බැංකුව, ගලදාරි හෝටෙල්ස් ලංකා පීඑල්සී, සෙලින්සින්ග් පීඑල්සී, අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, බොගවන්තලාව ටී එස්ටේට්ස් පීඑල්සී, බලන්ගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, මස්කෙලිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී, උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී එම සමාගම් වෙයි.

මහාභාණ්ඩාගාරය විසින් සිය පාලනය යටතේ පිහිටුවා ඇති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම හරහා කොළඹ නගරයේ පිහිටි හෝටල් තුනක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමට සූදානම් වීමත් සමගින්ම Public Finance.lk මෙම සටහන සකස් කර තිබේ.

Visits: 648