කොළඹ ඉඩම් තක්සේරු දර්ශක අගය දෙවසරකට පසු යළි ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 පළමු අර්ධයේදී 155.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2020 දෙවැනි අර්ධයේදී පැවැති දර්ශක අගය වූ 145.2ට සාපේක්ෂව ඒකක 9.9ක වර්ධනයකි.

2020 වසරේ සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස ප්‍රතිනාමකරන කරමින් අර්ධ වාර්ෂික වාර්තාවක් ලෙස මහ බැංකුව විසින් මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය ඉදිරිපත් කරයි.

මෙම නවතම දර්ශකයට අනුව පසුගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩිවීම පහළ යාමේ ප්‍රවණතාවට ප්‍රතිවිරුද්ධව යමින් ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය 9.5%ක් ද අර්ධ වාර්ෂික වර්ධනය 6.8%ක්ද ලෙස වාර්තා වී ඇතැයි මහ බැංකුව පවසයි. පසුගිය අර්ධ වර්ෂයට සාපේක්ෂව මෙම අර්ධ වර්ෂයේ ඉඩම් තක්සේරු දර්ශකයේ ප්‍රතිශත වෙනස මගින් මෙම අර්ධ වාර්ෂික වර්ධනය මනිනු ලැබේ.

“මෙහිදී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහි ඉහළ යාම හේතු විය“ මහ බැංකුව පවසයි.

ඒ අනුව වැඩිම වාර්ෂික වර්ධනය වන 10.1%ක අගයක් සඳහා කාර්මික ඉඩම් තක්සේරු අනුදර්ශකය දායක වී තිබේ. එසේම නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනුදර්ශකයන්හිද වර්ධනයක් දක්නට ලැබී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි 1998 සිට 2008 දක්වා වාර්ෂිකවම, 2009 සිට 2017 දක්වා අර්ධ වාර්ෂිකවද ඉඩම් මිල දර්ශකය සම්පාදනය කර තිබේ.

ඉන්පසුව 2017 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ආවරණය වන පරිදි එහි පදනම් වර්ෂය 2017 පළමු භාගය ලෙස සංශෝධනය කර තිබේ. එසේම 2020 වසරේ සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස ප්‍රතිනාමකරණය කරන ලද අතර, එය අර්ධවාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරේ.

මෙහිදී අදාළ තක්සේරුව සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් මේ සඳහා භාවිතා කෙරෙන බවත් මහබැංකුව පවසයි.

Visits: 146