මහාචාර්ය ලලිත් ගමගේ ICTA සභාපති ධුරයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ධුරයෙන් ඉවත්ව ඇතැයි එම ආයතනය නිවේදනයක් මගින් පවසයි. 2021 අගෝස්තු 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ.

කෙසේ වෙතත් මහාචාර්ය ලලිත් ගමගේ මහතා සිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි.

මහාචාර්ය ගමගේ මහතා 2021 වසරේ ජනවාරි මාසයේදී ICTA සභාපති ධුරයට පත්විය. එතෙක් සභාපති ධුරය දැරූ ජයන්තද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යාංශයේ සභාපතිවරයා ලෙස පත්වීමත් සමගින්ම හිස් වූ ධුරය සඳහා ගමගේ මහතා පත් විය. පත්වීම ලබන අවස්ථාව වන විට ඒ මහතා SLITT ආයතනයේ උපකුලපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.

ICTA ආයතනය ඩිජිටල් පරිවර්තනයක් සඳහා වන මාවත වෙනුවෙන් යොමු කරවීමේ පදනම ගොඩනැගීමේ කටයුත්තේ මහාචාර්ය ලලිත් ගමගේ මහතා මූලික දායකත්වයක් ලබා දුන් බව එම ආයතනය පවසයි. එසේම ඔහුගේ නායකත්වය යටතේ ICTA සංවිධානයක් ලෙස සකස් වීමක් සිදු වුණු බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.

ගමගේ මහතාගේ මෙම ධුර කාලයේදී මෙරට ඩ්ජිටල් ආර්ථිකය සඳහා වන බොහෝ ව්‍යාපෘතින් වෙත යොමු වී තිබේ. ඩිජිටල් රාජ්‍යය, පුරවැසි මූලික සේවා, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා වන %Stay Safe^ වැඩසටහන, කොවිඩ්-19 එන්නත්කරණය සඳහා වන ලියාපදිංචි වීමේ වැඩසටහන, සේවක භාර කාර අරමුදලේ සේවා සැපයීම් වර්ධනය සඳහා සකස් කළ පද්ධතිය ඇතුළු කටයුතුද ඒ මහතා සභාපති ධුරය දරන සමයේදී ක්‍රියාත්මක වී ඇත.

එසේම ශ්‍රී ලංකාව සඳහා වන සුවිශේෂී ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහනද ඔහුගේ නායකත්වය යටතේ මුලපිරීමක් සිදු කෙරුණු ව්‍යාපෘතියකි.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික සහ තොරතුරුසන්නිවේදන ඉංජිනේරු උපාධියක් හිමි කරගෙන ඇති ගමගේ මහතා, කැනඩාවේ බ්‍රිටිෂ් කොලුම්බියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත. පරිගණක දැක්ම, කෘත්‍රිම බුද්ධිය, රොබොටික්ස් සහ පරිණාමීය පරිගණනය යනාදීය ඒ මහතාගේ පර්යේෂණ ක්ෂේත්‍ර ලෙස සඳහන් වෙයි.

ධුරයෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය ගමගේ මහතා, “මෙම ආයතනයේ වඩාත් තීරණාත්මක අවධියේදී ඊට නායකත්වය ලබා දීමට අවස්ථාව හිමිවීම ගැන සතුටට පත්වෙනවා. මෙම පරිවර්තනමය ගමනේ කොටස්කරුවන් බවට පත්වූ සියලු දෙනා වෙතම මම ස්තූතිය පුද කරන්න කැමතියි.” යනුවෙන් පවසා ඇත.

Visits: 62