චමත් පලිහපිටිය එංගලන්තයේ ඩ්‍රෝන යානා රක්ෂණ සමාගමක මුදල් ආයෝජනය කරයි

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ලොව සුප්‍රකට තරුණ ආයෝජකයෙකු වන චමත් පලිහපිටිය සිය ආයෝජන සමාගම වන සෝෂල් කැපිටල් හරහා බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක ඩ්‍රෝන යානා සඳහා රක්ෂණ පහසුකම් සලසන Flock නම් සමාගමක මුදල් ආයෝජනය කර ඇතැයි වාර්තා පවසයි.

2015 වසරේදී ආරම්භ කෙරුණු මෙම සමාගමේ සම නිර්මාතෘවරුන් වන එඩ් ක්ලින්ගර් සහ ඇන්ටන් පෙනා සමගින් ඔහු මෙම මුදල් ආයෝජනය කර තිබේ. ඒ අනුව චමත් පලිහපිටිය මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 10.6ක මුදලක් යොදවා ඇති අතර, අනෙක් ආයෝජකයන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 6ක පමණ මුදලක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කලක් ෆේස්බුක් සමාගමේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ චමත් පලිහපිටිය අනතුරුව සිය සෝෂල් කැපිටල් සමාගම පිහිටුවා ගනිමින් ආයෝජනය සඳහා යොමු විය. එහිදී ඔහු තාක්ෂණික සමාගම් වෙත ආයෝජනයට වැඩි අවධානයක් යොමු කළ අතර, පසුගියදා අභ්‍යවකාශ චාරිකාවේ යෙදුනු ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලක්ටික් ව්‍යාපෘතියේද ඔහු මුල්පෙළේ ආයෝජකයෙකු විය.

ඒ අනුව තාක්ෂණික සමාගම් සඳහා වන සිය ආයෝජනයන් තවදුරටත් පුළුල් කරමින් චමත් පලිහපිටිය සිය මුදල් ඒ හා සම්බන්ධ රක්ෂණ පහසුකම් සලසන සමාගමක් වෙත ආයෝජනයත් කැපී පෙනෙන අවස්ථාවක් වී තිබේ. විශේෂයෙන්ම අනාගත ලෝකයේ ප්‍රවාහන තාක්ෂණය වෙත අවධානය යොමු කරමින් ඔහු මෙම තීරණය ගන්නට ඇතැයි පැවසෙයි.

එඩ් ක්ලින්ගර් සහ ඇන්ටන් පෙනා එක්ව 2015 වසරේදී පිහිටවුණු මෙම Flock සමාගම අද වනවිට වාණිජ ඩ්‍රෝන මෙහෙයුම් සඳහා අවශ්‍ය රක්ෂණ පහසුකම් සලසයි. එහිදී Netflix සහ BBC යන නිෂ්පාදන සමාගම් වෙත අයත් සහ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාවට අයත් වෛද්‍ය ඩිලිවරි සේවා සිදුකරන ඩ්‍රෝන යානා රක්ෂණය කිරීම එම සමාගම මගින් සිදු කරයි.

සාම්ප්‍රදායික රක්ෂණ සමාගම් මෙන් එම ඩ්‍රෝන යානා සඳහා වාර්ෂික රක්ෂණ සැලසුමක් ප්‍රදානය කිරිම වෙනුවට එම ඩ්‍රෝන යානා ගුවන් ගත කරන වාරයක් සඳහා පාරිභෝගිකයන්ගෙන් රක්ෂණ වාරිකයක් අය කරගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිම Flock සමාගම සඳහා වන ජනප්‍රියතාව ඉහළ යාමට හේතුවක්බව පැවසෙයි.

එසේම පසුගිය වසරේ ජූලි මාසයේදී එම සමාගම මෝටර් රථ අංශයේ සමාගම් වෙතත් එම රක්ෂණ සැලසුම්ම හඳුන්වාදීම සිදුවී තිබේ.

සිය සෝෂල් කැපිටල් සමාගමේ ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චමත් පලිහපිටිය, “Flock සමාගම මගින් අද දවසේ රක්ෂණ කර්මාන්තය සහ හෙට දවසේ ප්‍රවාහන යථාර්ථයන් අතර පවතින පරතරය එකිනෙක සම්බන්ධ කරනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔහු, “යථාතත්ව දත්ත යොදා ගනිමින් රථයක පවතින අවදානම සම්බන්ධයෙන් සැබෑම අවබෝධයක් සහිතව රක්ෂණ සැලසුම් ඉදිරිපත් කරන Flock සමාගමට, තාක්ෂණික වශයෙන් අධි-සම්බන්ධිත ලෝකයේදී අපගේ රක්ෂණ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට හැකියාව පවතිනවා. එසේම සැබෑවටම අනාගත ස්වංයංධාවන ලෝකය වෙත දොරටු විවර කිරිමේ සහ ජීවිත රැක ගැනීමේ හැකියාවත් Flock සතුයි. එම ගමනේ කොටස්කරුවෙකු වීමට හැකියාව ලැබිම ගැන අපට සතුටුයි.” යනුවෙන්ද පවසා තිබේ.

Visits: 280