රසායනික ගිනිගැනීමක අවධානමක පැවැති තවත් නෞකාවක් කොළඹ වරායේදී ගලවා ගැනේ

රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් කොළඹ වරාය ආශ්‍රිතව ගිනිගැනීමේ අවධානමකට ලක්වූ නෞකාවක් ඉන් මුදවා ගැනීමට හැකියාව ලැබුණු බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. මෙය පසුගියදා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා සමාන අවස්ථාවක් වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

“රසායන ද්‍රව්‍ය ‍රැගෙන කොළඹ වරායට යාත්‍රා කරමින් තිබූ SEASPAN LAHORE නැමති බහාලුම් ප්‍රවාහන නෞකාවේ එක් බහාලුමක් තුළ තිබූ රසායන ද්‍රව්‍ය නෞකාව තුළට කාන්දු වීමත් සමඟ කොළඹ වරාය ආසනයේ තිබූ නෞකාව, ගින්නක් හට ගැනීමට ප්‍රථම කොළඹ වරයාට ගෙන්වා එහි රසායන ද්‍රව්‍ය කාන්දු වෙමින් තිබූ සියලු බහාලුම් ඉවත් කර අදාළ නෞකාවට ගිනි ගැනීමේ අනතුරින් සාර්ථකව මුදවා ගැනීමට හැකි විය.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

යම් හෙයකින් එම ගිනි ගැනීම සිදු වූයේ නම් ඉන් සිදුවන හානිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානිය හා සමාන හානියක් විය හැකි ව තිබූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ. “වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ, SAGT පර්‍යන්තයේ ප්‍රධාන විධායක නිළධාරී රොමේෂ් මහතා ඇතුළු නිළධාරීන්ගේ දායකත්වය සහිතව මෙම විනාශය වලක්වා ගැනීමට හැකි විය.” යනුවෙන්ද අමාත්‍යවරයා පවසා ඇත.

Visits: 63