රු.බිලියන 10ක පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ණයකර නිකුතුවට අධිදායකත්වයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා සිදු කරන ලද රුපියල් බිලියන 10ක් වටිනා සිය ණයකර නිකුතුවට අධිදායකත්වයක් හිමිව ඇතැයි පවසයි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ, නොසුරැකුණු, ලැයිස්තුගත, පිරිමුදවාගතහැකි, වර්ගකෙරුණු, වසර තුනක සහ වසර පහක ණයකර ලෙස මෙම ණයකර නිකුත් කෙරී තිබුණි.

මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබූ අතර, එම ණයකර මිලදී ගැනීම සඳහා වන අයැදුම්පත් කැඳවීම අවසන් වනවිට ඒ සඳහා රුපියල් බිලියන 14ක් වටිනා අයැදුම්පත් ප්‍රමාණයක් හිමිව තිබූ බවත් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මහජන බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සැලසුම් කළ ආකාරයට මෙහිදී පළමු වටයේදී රුපියල් බිලියන 4ක් වටිනා ණයකර නිකුතුවක් සිදු විය. එසේම ඒ සඳහා හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් රුපියල් බිලියන 6ක ණයකර නිකුතුවක් සිදු විය.

කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සලින් මහතා මගින් නිකුත් කළ ලිපියකට අනුව මෙම නිකුතුවේදී ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිතනොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගතහැකි ණයකර කොටස් මිලියන 80ක් නිකුත් කිරීම සැලසුම විය. එසේම ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 8ක් විය. එහෙත් පසුව එය මෙලෙස රුපියල් බිලියන 10ක් දක්වා ඉහළ දැමීම සිදු වී තිබේ.

මහජන බැංකුවෙහි ආයෝජන බැංකුකරණ ඒකකය සහ කැප්ටල් එලායන්ස් පාර්ට්නර්ස් සමාගම (CAL) මෙම නිකුතුවෙහි ඒකාබද්ධ කළමනාකරුවන් ලෙස කටයුතු කර ඇත.

Visits: 135